විදුලි මාෆියාව පුනර්ජනනීයට බාල්දි අදී

 

විදුලිබල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ජනතාව අඳුරේ  තබා රට බිත්තියට හේත්තු කර  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට  විවිධ උත්සාහ දරන බවත් පුනර්ජනනීය බලශක්තිය සඳහා මේ අවස්ථාවේදී පැහැදිලි ස්ථිරසාර   තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමැතිවරුන්ගේ  නිවාසවලට පහර  දෙන බවත්  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

විදුලි බිල සියයට 300 කින් වැඩි කිරීමට යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන්  තමාට ලැබුණු  බව පැවසූ අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන නිලධාරීන් අද උත්සාහ දරන්නේ විදුලිබිල සංශෝධනය කර ජනතාව මත බදු පටවා තම අරමුණු ඉටුකර  ගැනීමට බවද ප්‍රකාශ කළේය.

ජනතාව මත  බර පැටවෙන එවැනි යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට   තමා සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  අපේ ජන බල පක්ෂය පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ස්ථාවර නියෝග  27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලිබල මණ්ඩලයේ සෑම නිලධාරියකුගේ වැටුප වාර්ෂිකව සියයට 25 කින් පමණ වැඩිවන බවත් මෙම වැඩිවන වැටුප් ජනතාව මත බර පටවා ගෙවිය යුතු දැයි ප්‍රශ්න කරන බවත් විජේසේකර මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය තහවුරු කැරෙන බලශක්ති  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  අද ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඊට අකමැති අයෙකු සිටී නම් විරුද්ධ විය හැකි බවද සඳහන් කළේය.

බලශක්ති පනත් කෙටුම්පත ගෙන ඒමට  විරුද්ධ වී සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *