නාමල් රාජපක්ෂ පමණක් නොව ඔහුගේ මෑණියන් ද නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය- ගාමිණී වියන්ගොඩ

අද ප්‍රශ්න ගණනාවකට රට මුහුණ දී තිබේ. සමහර ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වන අතර සමහර ප්‍රශ්න හදන ප්‍රශ්න ලෙස සැළකිය හැක. ජනවාරි 8වෙනිදා මේ රටේ බලයෙන් පහකළ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කඳවුර ප්‍රශ්න නිර්මාණය කරමින් සිටිති. අනික් පැත්තෙන් යහපාලන ආණ්ඩුවත් යම් යම් ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටින බව පෙනේ. මේ කාරණා දෙක පිළිබඳවම මේ රටේ ජනතාව සැළකිලිමත් විය යුතු ය.
මොන විදියකින්වත් අපි ලෑස්ති නෑ නැවත මහින්ද රාජපක්ෂ හෝ ඔහු නියෝජනය කරන සංස්කෘතියක් මේ රටේ බලයට පත්වෙනවා දකින්නට. ඒක වැළැක්වීම සඳහා අපිට කළහැකි සෑම මැදිහත්වීමක් ම යථා කාලයේ දී අපි කරන්නෙමු. පසුගිය දිනවල දූෂණ විරෝධි යම් යම් ක්‍රියාමාර්ග ආණ්ඩුව ගත්තේ ය. දූෂණවලට සම්බන්ධ යම් යම් පුද්ගලයින්ව ප්‍රශ්න කළේ ය. තව සමහර පුද්ගලයින්ව අත්අඩංගුවට අරගෙන තිබේ. පසු ගිය දිනක නාමල් රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට ගත්තේ ය. මේ අත්අඩංගුවට ගැනීම් පමා වන විට අපිට හොරු කිව්වාට හොරු ඇල්ලුවා ද යනුවෙන් ඔවුහු ප්‍රශ්න කරති. ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පසු දැන් ඔවුන් කියන්නේ මේක දේශපාලන දඩයමක් බව ය.
දැන් මේන්න මේ ආකාරයේ දේශපාලනයක් තමයි ඒකාබද්ධ විපක්ෂය ඇතුලු මහින්ද රාජපක්ෂ ගේ කණ්ඩායම මේ රටේ ජනගත කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒකට අපි මොන ආකාරයෙන්වත් යට වෙන්නේ නැත. අපි කියන්නේ මේ වේගය ප්‍රමාණවත් නැත බව ය. අපි ජනවාරි 08වෙනිදා මේ යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළෙමු. ඒවා පිළිබඳ පියවර ගැනීම යහපාලන ආණඩුව ඉතාමත් මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරන බවයි අපේ අදහස වන්නේ. ඒ නිසා අපි කියන්නේ නාමල් රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂගේ මෑණියන්වත් අදාල සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කර නීතිය ඉදිරියට පැමිණවිය යුතු ය. මේ ආකාරයේ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබාඇති කිසි කෙනෙක්ව එතනින් ගැලවී යනවා දකින්නට අපි ලෑස්ති නැත. ඒ නිසා අපි උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන්ම ඒ සිද්ධි සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ව නීතිය ඉදිරියට පැමිණවීමට ය.
දැන් මෙහෙම නීතිය ඉදිිරියට පැමිණවීමට උත්සහා දැරීමේ දී එක එක පාර්ශවයන් පැත්තෙන් එන නොයෙකුත් චෝදනා ඇත. එම චෝදනා එක පැත්තකින් මම කලින් කියූ මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් එන අතර අනික් පැත්තෙන් මේ රටේ නිළධාරි පැලැන්තිය පැත්තෙනුත් දැන් ප්‍රශ්නයක් මතු වී තිබේ. නිළධාරින් දැන් කියන්නේ ඔවුන් වරදක් නොකළ බව ය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පසුගිය දිනක සිල්රෙදි බෙදීම අල්ලසක් නම් සමෘධිය අල්ලසක් නොවන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කළේ ය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වගේ ඉහළ නිළධාරියෙක් මේ වගේ කථාවක් කියන විට මේ රට පත්වෙලා තියෙන අගාධය කොතරම් ගැඹුරු ද යන්න අපිට වටහාගත හැක. දැන් අපි කවුරුත් දන්නවා සමෘද්ධිය කියන්නේ පනතකින් පාර්ලිමේන්තුවේ සම්මත වී, මේ රටේ දුප්පත් ජනතාව සඳහා දියත් කළ යම්කිසි ආර්ථික වැඩපිළිවෙලක් බව. ඒක සාකච්ඡාවට ලක් වී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන ජනතාවගේ ඉල්ලීම මත කළ දෙයක් තමයි සමෘද්ධිය කියන්නේ. මේ නිළධාරියා කියනවා නම් මැතිවරණය කාලයේ ඡන්ද ගරාගැනීම සඳහා සිල්රෙදි බෙදාදීම ඒකට සමානයි කියලා මෙවැනි නිළධාරින් සමග ද අපි දූෂණයෙන් තොර සමාජයක් සඳහා කටයුතු කරන්නේ කියන ප්‍රශ්නය මතුවේ.
පසුගිය කාලයේ මේ රටේ මහ පරිමාණ දූෂණයන්ට සම්බන්ධ වූ දේශපාලනඥයින් දහයක් සිටී නම් ඒ දහදෙනා පිටුපස ඒවාට සහයෝගය දුන් නිලධාරින් දහයක් සිටිති. කිසිම ඇමතිවරයෙකුට, කිසිම නියෝජ්‍ය ඇමතිවරයෙකුට, කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට පුළුවන් කමක් නෑ තනියම දුෂණයක යෙදෙන්නට. ඇමතිවරයෙකුට පුලුවන් කමක් නෑ තමන්ගේ අමාත්‍යාංශයේ තියෙන සේපුවකින් සල්ලි හොරෙන් ගෙන හෝ වෙනත් ආකාරයකින් ගෙන පාවිච්චි කරන්න ආකාරයේ වැඩ කරන්නට. ඒකට හැමවිටම ඉහළ නිළධාරියෙකුගේ සහයෝගය අවශ්‍ය වේ. එතකොට දඩැල්ලගේ කියන මේ නිළධාරියා කියනවා නම් මේක අපේ වරදක් නොව අපිට ඉහලින් ආ නියෝගයක් කියලා, කිසි දවසක මේ රටේ දුෂණය නවත්වන්නට හැකියාවක් නැත.
දූෂණය නවත්වන්නේ නම් දේශපාලනඥයින් වගේම අනික් පැත්තෙන් දේශපාලනඥයින්ට දූෂණයේ යෙදෙන්නට උදව් වූ ඉහළ පැලැන්තියේ නිලධාරි පිරිස ද නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය. ඒ නිසා අපි යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ නිළධාරින්ගේ තර්ජනවලට බිය නොවී මේ සෑම කෙනෙක්ම තරාතිරම නොබලා නීතීය ඉදිරියට පැමිණවිය යුතු බව. කිසිම රාජ්‍ය නිළධාරියෙකුට හැකියාවක් නෑ මට ඉහලින් ආ නියෝගයක් ඉටුකළ නිසා මං නිවැරදිකාරයෙක් කියන්නට. සෑම රාජ්‍ය සේවකයෙක්ම මේ රටේ නිතියෙන් බැදි සිටි. ඒ වගේම ආයතන සංග්‍රහය කියන රාජ්‍ය නිළධාරින් සම්බන්ධයෙන් ක්‍රිියාත්මක වන නීති පද්ධතියක් ඇත. ඒවායෙන් ඒ අය බැඳි සිටිති. එවාට පිටස්තර කිසිදෙක් කරන්නට ඒ අයට අයිතියක්වත් පුළුවන්කමක් වත් නැත.
ඒ වගේම යහපාලනය පැත්තෙන් ද තමන් කියූ පරණ දේවල් නිවැරදි කිරිමට පියවර ගැනිමේ දී මන්දගාමි සුවරූපයක් ඇත. පසුගිය කාලයේ අපි දන්නවා බොහෝ දෙනාව ප්‍රශ්න කරනවා. අත් අඩංගුවට ගන්නවා. සුමානයකින් නැතිනම් දෙකකින් නිදහස් කරනවා. ඔවුන්ගේ ඒ නඩුව මාස 6න් 7න් කල් යනවා. මාස 7කට වරක් පමණයි නඩුවක් නැවත කැඳවන්නේ. මේ අය ගණන් හදාගෙන ඉන්නවා මේ ආණ්ඩුව වසර 5ක් හිටියත් අපිට මේකෙන් ගැලවෙන්නට පුලවන් බව. නඩු අහලා ඉවර වෙනවිට මේ ආණ්ඩුව ඉවරයි. ඒ කාලය වනවිට බලයට පත්වෙන්නට හැකිය යන විශ්වාසයක් මේ අයට තිබේ. ඒ නිසා මේ අය නීතියට බිය නැත. ඒ නිසා අපි යෝජනා කරනවා මෙවැනි මහ පරිමාන දූෂණ සහ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් සිග්‍ර වැඩපිළිවෙලක් ක්‍රිියාත්මක කළයුතු බව. ඒ සඳහා පවතින නීතිය යටතේම විශේෂ අධිකරණයක් පිහිටුවිමට අපි යෝජනා කරමු. මේ මගින් මේ නඩු ඇසිම කඩිනම් කළ හැක. ඒ ආකාරයට පමණයි අපිට මේවා සමතයකට පත්කරන්නට හැකි වන්නේ. යහපාලන ආණ්ඩුව සත් භාවයෙන්ම මේ කියන දූෂිතයින් එරෙහිව පියවර ගන්නවා යැයි කියන්නට හැකි වන්නේ එසේ කිරීමෙන් පමනි. පසුගිය දිනවල උතුරේ තවමත් සුදුවැන් සංස්කෘතිය ක්‍රියාත්මක වන බව අසන්නට ලැබුණි. මේවා ගැන දකුණේ කථා කරන්නේ නැත. අපි කථාකළ යුත්තේ දකුණේ සිංහළ නැතිනම් බෞද්ධයෙකු පැහැරගෙන ගියාම පමණ ද? ඇයි දෙමළ හෝ මුස්ලිම් මිනිසෙකු පැහැරගෙන ගියාම කථා කරන එක වැරදි ද? යහපාලනය යටතේ මෙහෙම වන්නේ කෙසේ ද? මේක මා හිතන ආකාරයට යහපාලනයට ඉතාමත්ම නරක ගතියකි. ඒ නිසා දකුණෙන් සුදුවෑන් සංස්කෘතිය අයින් කළා වගේම උතුර සහ නැගෙනහිරෙන් ද ඒ සුදු වෑන් සංස්කෘතිය අයින් කළයුතු බව අපි පාලකයින්ගෙන් ඉල්ලා සිටිමු. එවිට පමණයි රටක් ලෙස අපිට නිදහසේ නිවහල්ව බියකින් සහ සැකයෙන් තොරව ජීවත් වන්නට හැකි වන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *