සිල් රෙදි නඩුව අගෝස්තු 3දා

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් යොදා ගනිමින් මුදල් සාවද්‍ය, සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය අගෝස්තු මස 03 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (13) තීරණය කෙළේය.

මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා ඉදිරියේ මේ නඩුව විභාගයට ගනු ලැබේ.‍

‍හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 3ක් ගොනු කරමින් පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක මුදලක් 2014 ඔක්තෝබර් 30 සිට 2015 ජනවාරි 05 අතර කාලයේදී සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියකට යෙදවීමෙන් වරදක් කර ඇතැයි විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබේ.

ඊයේ (13) මේ නඩුව කැඳවූ අවස්ථාවේදී එම සිල් රෙදි සැපයුම්කරුවකු වන එච්. සුමතිපාල හෙට්ටිආරච්චි මහතා විසින් මහාධිකරණය හමුවෙහි සාක්කි ලබාදෙන ලදි.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින අතර නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවයි.

 

නෙල්කා මැදගෙදර – දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *