“ඉන්ධන ප්‍රශ්නය මෙන් ම ගෑස් ප්‍රශ්නයත් විසඳනවා” – අගමැති එන් ඩී ටී වී රුපවාහිනියට කියයි

පෙට්‍රල් සඳහා තිබු පෝලිම් අඩු කිරීමට හැකි වී ඇති බවත්, ඩීසල් සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය විසඳීමට කටයුතු කරමින් සිටින බවත්, ගෑස් සම්බන්ධ ප්‍රශ්නය ද ඉක්මනින් විසඳන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ එන් ඩී ටී වී රුපවාහිනියට ඊයේ ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කොට ඇත.

ගෑස් හිගය පිලිබඳ ප්‍රශ්නය නාගරික ප්‍රදේශවලට තදින් බලපාන බවත්, ග්‍රාමීය ප්‍රදේශවලට එහි බලපෑම අඩු බවත් කී අගමැතිතුමා වැඩි දුරටත් කියා ඇත්තේ ඩීසල් සහ පෙට්‍රල් පිලිබඳ ප්‍රශ්නය රටට ම එක ලෙස බලපාන බවයි.

තම කාර්යාලය ඉදිරියේ ද පෙට්‍රල් පෝලිම් ඇති බව කී අගමැතිවරයා එම පෝලිම් දැන් තරමක් අඩු වී ඇති බව ද  කී ය.

පොහොර ප්‍රශ්නය සහ ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන පොහොර හිගය ලොවට ම බල පා ඇති බවත් , බ්‍රසීලය වැනි රටවල් එයින් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති බව ද ඒ මහතා  පෙන්වා දුන්නේ ය. ඇමෙරිකාවට ද එය බල පා තිබේ.

රුසියානු – යුක්රේන යුද්දය නිසා ඇතිවන ලෝක ආහාර අර්බුදයට දරුණු ලෙස ගොදුරු වන දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාව බවත්, ලබන ඔක්තෝබරයේ සිට පෙබරවාරි දක්වා කාලයේ දී ආහාර අර්බුදය උග්‍ර වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා අගමැති ධුරය භාරගත්තේ අර්බුදය තවත් උත්සන්න වීම නවතා යම් ස්ථාවර බවක් ඇති කිරීම සඳහා බව කී වික්‍රමසිංහ මහතා එම අරමුණ දැන් ඉටු කරමින් සිටින බව ද කී ය. අර්බුදයෙන් ගොඩ යෑම සහ පෙර පැවති තත්ත්වයට පත්වීම ගැන කටයුතු කරන්නට හැකි වන්නේ ඉන් පසුව බව ඒ මහතා එන් ඩී ටී වී රුපවාහිනියට ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *