යහපාලනයේ ප්‍රගති වාර්තාව- අර්ෆීහා ජවාඞ්

දේශපාලනික ක්ෂේත්‍රය තුළ සදාචාරමය ආණ්ඩුවක් සඳහා වන අවකාශයක් අද පවතින බව කවුරුත් දනිති. මීට කලකට පෙර මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට සිදුවුණේ නොපැහැදිළි අවබෝධයක් මත අතපත ගෑමටයි. ඒ කාරණය දැන් ජනාධිපතිවරයාගේ සැළකිල්ලට යොමුව තිබේ. මහ බැංකුවේ මහ පුටුව සම්බන්ධයෙන් එතුමාගේ මැදිහත් වීම හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වීම ජනතා ප්‍රසාදයට හේතුවකි. එය ඉදිරියටත් එසේම පවතින්නේ නම් මැනවි. මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මහජන මතයට කන්දීම හරහා පෙන්නුම් කෙළේ, ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමකි. එය, පසුගිය රජය සමයේ දක්නට නොලැබුණු තත්වයකි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැනි ශිෂ්ට සම්පන්න උගත් විද්වතෙකුගේ සුපිළිපන් භාවය ගැන බොරු ඝෝෂා නැගිය හැකි වන්නේ, ජාතිවාදයේ අවිශිෂ්ට මානසිකත්වයෙන් යුත් පුද්ගලයන්ට පමණි. ඔවුන් කරන්නේ තමන්ගේ මට්ටමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව මැණ බැලීමයි. ඔහුගේ පත්වීම කවුරුන් කළත්, එය සහතික වශයෙන්ම බුද්ධිමය තීරණයකි. පසුගිය කාලයේ ඇතැම් යහපාලන විරෝධී ක්‍රියාකාරකම් දක්නට තිබුණත්, මේ කාරණයේදී, යහපාලනය යථාර්ථයක් කරලීමේ ජනාධිපති හැකියාව පෙන්නුම් කොට තිබේ.

නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය පෙන්නුම් කළ තවත් අවස්ථාවක් වන්නේ, නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා රුපියල් බිලියන 60 ක වටිනාකමින් යුත් ගල් අඟුරු ටොන් මිලියන 6.75 ක් සඳහා කැඳවූ ටෙන්ඩර් පරිපාටිය තුළ අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සිංගප්පූරුවේ ‘නොබෙල් රිසෝසස්’ සමාගම පැවරූ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවයි. එම ටෙන්ඩරය පැවරීමට කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 22 වැනි දා ගෙන තිබූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කරන ලදි. මේ ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන ඇතැම් සිදුවීම් ‘අධිකරණයේ හෘද සාක්ෂිය සෙලැවූ’ බව අගවිනිසුරු ශ්‍රී පවන් එහිදී ප්‍රකාශ කෙළේය.

මෙවැනි අවස්ථා බොහොමයක් පසුගිය පාලන සමය තුළ කිසි බාධාවකින් තොරව ක්‍රියාත්මක විය. මන්ද යත්, ඒවාට මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නොවුණු බැවිනි. මෑත කාලයේ මොන තරම් අවඥාවට ලක්වුවත්, මෙවැනි අවස්ථාවන් යහපාලනයේ වරුණ කියාපායි. කෙසේ වෙතත්, මේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට රජයේ මාධ්‍ය සමත් නොවීම අවාසනාවකි.

ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර ගැන ජනතාව නොදැනුවත්ව තබා ගැනීම හානිදායක ය. සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ලක්ෂණයක් වන්නේ, රටක ආණ්ඩුක්‍රමයේ අන්තර්ගත ජනතා පරමාධිපත්‍යය යනු, ජනතා අභිලාෂයන් සහ අපේක්ෂා ඉහළින්ම ආරක්ෂා කිරීමයි. ආණ්ඩුවේ අංශ ත්‍රිත්වය දේශපාලනීකරණයට ලක් කිරීම නිසා ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්වන අතර ඒ මගින් ජනතා නිදහසද නැති වන්නේය.

මේ සියල්ල මධ්‍යයේ තමන් නීතියට ඉහළින් සිටින කොටසක් වශයෙන් සළකන්නැයි ඉල්ලා සිටීමට තරම් රාජ්‍ය නිලධාරී සේවය අද දුර දිග ගොස් තිබේ. රාජ්‍ය නිලධාරීන්, ‘නීතියෙන් අත තැබිය නොහැකි’ සත්ව කොට්ඨාශයක් වශයෙන් සැළකීම සමග ජනතා වගවීම යන කාරණය නොගැළපෙයි. විශේෂ සමාජ කොට්ඨාශ වශයෙන් රාජ්‍ය නිලධාරීන්ව සැළකීමේදී සිදුවන්නේ, ඔවුන්ගේ දුරාචාරයට බලපත්‍රයක් ප්‍රදානය කිරීමයි. අනිත් පැත්තෙන්, ජනතාව කෙරෙහි ඔවුන් තුළ තිබිය යුතු සදාචාරමය බැඳීමත් දුර්වල කරයි.

යහපාලනය යථාර්ථයක් කරගත හැක්කේ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කෙරෙන්නේ නම් පමණි. විධායකය ජනතාවට ඉහළින් සිටින්නේ යැයි ගැනීම අශෝභන ය. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යෝග්‍ය නොවේ. එයින් කෙරෙන්නේ, ජනතා පරමාධිපත්‍යයත්, ජනතා අයිතීනුත් පාගා දැමීමයි. මේ දක්වා දක්නට ඇති ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රවේශය මත්තටත් පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු.

දූෂිත නිලධාරී තන්ත්‍රයක් පැවතීම, ජනතා අභිලාෂයන් සහ ප්‍රාර්ථනාවන් සාධනය කර දීමට බැඳී ඇති ව්‍යවස්ථාමය සහතිකයට පසමිතුරු ය. ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද ඕනෑම ආයතනයකට, මූල්‍යමය අක්‍රමිකතාවක් පරීක්ෂා කිරීම අරභයා ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු කැඳවීමට හැකියාව තිබිය යුතුය. එවැනි කැඳවීම් නතර කරන්නැයි රාජ්‍ය නිලධාරීන් විසින් ඉල්ලා සිටිනු ලැබීමම, ඔවුන් සේවය කිරීමට බැඳී සිටින ජනතා අභිලාෂයට පටහැනි වන්නේය. ජනතාවට සේවය කරන ආකාරය ගැන දැන ගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව එහිදී අමතක කෙරේ. එය, ආණ්ඩුව විසින් ජනතාවට දෙන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රතිඥාවටත්, දැන් එය යථාර්ථයක් කරගෙන ඇති පසුබිම තුළත්, නොපෑහෙන තත්වයකි.

නීතියේ ආධිපත්‍යයේ වපසරිය

දැනට ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන යහපාලනය තුළ සදාචාරමය නොගැළපීම් නැතිවා නොවේ. එම සීමාවන් මධ්‍යයේ වුවත්, නීතියේ ආධිපත්‍යය අරභයා ඇතැම් පියවර ගෙන ඇති බව කිව යුතුය. ඒවා තවදුරටත් වර්ධනය කර ගත යුතුව තිබේ. අතීතයේ තිබූ සුදු වෑන් අද නැත. අද මාධ්‍යවේදීන්ව පැහැරගෙන යන්නේ නැත. මේවා යහපාලනය දෘෂ්‍යමානව පෙන්නුම් කරන අත්දැකීම් ය. එහෙත් ආණ්ඩුවේ ප්‍රචාරක ආයතන ප්‍රමාණවත් තරමින් ඒවා සමාජගත නොකරන බව පෙනෙන්ට තිබේ. ‘කිසි දෙයක් වෙන්නේ නැතැ’ යි අද බොහෝ දෙනා කතාවට කියන්නේ එබැවිනි.

ජනතා මුදල් ගසාකෑ අයවළුන්ව නීතිය ඉදිරියට පමුණුවන්නැයි කෙරෙන ජනතා ඉල්ලීමට පිටුපෑම ජනතාව තුළ කළකිරීම සහ අපේක්ෂා භංගත්වය ඇති කරවයි. එවැනි දූෂණවලට එරෙහි පියවර අද නොගන්නේ, අනාගතයේ මහින්ද රාජපක්ෂ පාලනයක් විසින් වර්තමාන දූෂණයන් කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු දැකීම සඳහා ඇති කැමැත්තක් නිසාය යන්න ඇතැමුන්ගේ විශ්වාසයයි. තවත් අය සිතන විදිහට, අද එවැනි පියවර ගත නොහැකිව ඇත්තේ, ඒවාට අදාළ ආයතන තුළ මහින්ද රාජපක්ෂ අනුගාමිකයන් තවමත් අරක්ගෙන සිටින නිසා ය. එවැන්නන් විසින් අද ඉල්ලා සිටින මුක්තිය, අනාගතයේ දවසක අද දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා ද යොදා ගැනීමට හැකි වනු ඇත.

ජනතා ස්වාධිපත්‍යය

දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම ජනතා ස්වාධිපත්‍යයේ මහා ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමකි. අමාත්‍යවරුන්ගේ පැත්තෙන් සිදුවන අක්‍රමිකතා ප්‍රශ්න කිරීමට අවංක රාජ්‍ය නිළධාරීන්ට හැකි විය යුතුය. ‘ඉහළින් එන නියෝගවලට අවනත වීම හැර මොනවා කරන්නදැ’ යි ප්‍රශ්න කිරීම පිළිගත නොහැක්කකි. එය, කාගේ කාගේත් යටිමඩි ගසා ගැනීම සඳහාද පාවිච්චි කළ හැකි අවසරයකි.

පිට කොන්දක් නැති දූෂිත රාජ්‍ය සේවය හෝ දූෂිත විධායකය, අද මේ රට පත්ව ඇති විපතට වගකිව යුතුය. ඒ හා සමානවම දූෂිත චර්යාවක් පෙන්නුම් කරන මාධ්‍යයත්, ඒ හා සමානවම මේ තත්වයට වගකිව යුතුය. පාර්ලිමේන්තුවේ එක් මහජන නියෝජතයන් කණ්ඩායමක් වෙනුවට ඒ හා සමානම තවත් දූෂිත මහජන නියෝජිතයන් කණ්ඩායමක් පත් කර ගැනීමේ නරක තත්වය වෙනස් කර ගත හැක්කේ, අවංක සහ ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය සේවයක් ඇති විට ය. මේ තත්වයෙන් රට ගොඩගත හැක්කේ, ඒ හා සමානම අවංක සහ ශක්තිමත් මාධ්‍යයක්ද ඇති විටයි.

දේශපාලඥයන් කවදත් බලන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමටයි. එය අපේ රට මුහුණදෙන නස්පැත්තියකි. ඊට වෙනස් තත්වයක් ඇතොත් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් විශාලම තර්ජනය මතු වන්නේ, දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රයෙනි. ඒ හා සමානම, මාධ්‍යයේ ඇතැම් අංශත් ඊට නොමසුරුව දායක වෙයි. ‘බලපත්‍ර සහිත දුෂිත රාජ්‍ය නිලධාරී’ කුලකයක් සඳහා නීතියේ ආවරණයත් සපයන්නේ නම් සහ ඊට ජනාධිපති අනුමැතියත් ලැබෙන්නේ නම්, අවසානයේදී සිදුවනු ඇත්තේ මහා බලගතු ජනාධිපති තනතුරත් යම් දවසක මේ දූෂිත නිලධාරී තන්ත්‍රය විසින් ගිල ගනු ලැබීමයි.
2016 ජුලි 11 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ වූ
යහපාලනයේ ප්‍රගති වාර්තාව
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *