අගමැති රනිල් හිටපු කතානායක කරු හමු වී උදව් ඉල්ලයි ; පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධානයක වගකීම් ගන්න කියයි

හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ කොළඹ අමරසේකර මාවතේ නිවෙසට ඊයේ රාත්‍රියේ ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව බලවත් කිරීමට සහ සියලු පක්ෂ සහභාගී කරගන්නා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සහය වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමත්, ආණ්ඩුකරණයට සියලු පක්ෂ සහභාගී කර ගැනීමත් , පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා සිදු වී තිබේ. කරු ජයසුරිය මහතා නායකත්වය දෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව කරු ජයසුරිය මහතාගේ අදහස්, අත්දැකීම් සහ දායකත්වය ලබාගැනීම කෙරෙහි එහි දී අවධානය යොමු වූ බව කියති.

2015 – 2019  යහපාලන ආණ්ඩු කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුක කාර්ය භාරයක් එවකට කතානායක කරු ජයසුරිය මහතා විසින් ඉටුකරනු ලැබී ය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එම කමිටු ක්‍රමය අකර්මන්‍ය කර දමනු ලැබී ය.

මෙම ක්‍රමය සහ තවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ගණනාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා යෝජනා කළේය.

එම යෝජනා පිළිබඳව කරු ජයසුරිය මහතා ද යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *