මේ විනාශයට ජනතාවත් වග කිව යුතුයි – අගමැති රනිල් වික්‍රමසිංහ

 

අද රටේ ඇතිවී තිබෙන අර්බුදයට සහ විනාශයට මෙරට ජනතාවත් වගකිව යුතු බවත්, මැතිවරණවල දී ඔවුන් ගත්  වැරදි තීරණ රටේ විනාශයට හේතු වූ බවත්, එහි වගකීම ජනතාව භාරගත යුතු බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එබැවින් දේශපාලනඥයන්ට පමණක් බැන වැදීම වැරදි බවත්, ජනතාව ගේ වැරැද්ද ගැන ද කතා කළ යුතු බවත් ඒ මහතා කී ය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති වෘත්තීයවේදීන්ගේ සමුළුවකට සහභාගී වෙමින් අගමැතිතුමා  මෙම අදහස් පළ කළේය.නිර්මානාත්මක වෘත්තීයවේදීන්ගේ සංවිධානය සහ රකිමු ජයතු ලංකා සංවිධානය එක්ව මෙම සමුළුව සංවිධානය කොට තිබිණි.

එහි දී දේශපාලකයන්ගේ වැරදි ගැන සභාවෙන් මතු වූ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින්, ජනතාව ද වැරදි තීරණ ගන්නා බව අගමැතිතුමා ප්‍රකාශ කළ විට ප්‍රශ්න ඇසු ප්‍රේක්ෂකයා නැවත ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ හොරුන් මැරයින් ඉදිරිපත් කළ විට ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බව යි.

එම අවස්ථාවේ සභාවේ සිටි වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්ට ආසනවලින් නැගී සිටින ලෙස ඉල්ලා සිටි අගමැතිතුමා ප්‍රශ්න නැගු ප්‍රේක්ෂකයගෙන් පෙරලා ප්‍රශ්න කළේ මොවුන් හොරුන් ද , මැරවරයින් ද, යනුවෙනි.

සොරකම් වංචා නවත්තන්නට කටයුතු කළ තමන්ටත් ගෙදර යන්නට සිදු වූ බව වික්‍රමසිංහ මහතා කී ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ වත්මන් ව්‍යසනයට දේශපාලඥයින් පමණක් නොව ඔවුන් තෝරා යැවූ ජනතාව ද වගකිව යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *