ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ වැඩ අවුල් වියහැකි නමුත්, අවසන් ප්‍රතිඵලය යහපත් – මහාචාර්ය රොහාන් සමරජීව

ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම සුපිරි බදු යනුවෙන් බදු වර්ගයක් හඳුන්වා දුන්නේ ය. ඊ ළගට දැන් මේ වැට් බද්ද එහාට මෙහාට කරති. මේක දැන් මොකද්ද කියලා මිනිස්සුන්ට හොයා ගන්නට නොහැක. අගමැතිතුමා එකක් කියන විට ජනාධිපතිතුමා කියන්නේ තවත් එකකි. මුදල් ඇමති වෙනත් ම එකක් කියන අතර මිනිසුන් මේක තේරුම් ගන්නේ වෙනත් ම ආකාරයකට ය. මේක දැන් නිකම් අවුලක් වී තිබේ. ඔය අවුලත් සමග ආයෝකයින් හිමින් තමයි වැඩ කරන්නේ. උදාහරණයක් හැටියට හයිඩ්‍රාමනි ගතහොත් එය ලංකාවේ විශාල ලෙස රැකියා බිහිකරන ආයතනයකි. ඒ අය දැන් වියට්නාමයේ දෙපොළක ෆැක්ටරි ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මෙයින් පෙනෙන්නේ ලංකාවේ ආයෝජනය කිරීමට තිරිංගය තද කරන අතර වියට්නාමයේ ආයෝජනය කිරීමට ඇක්සලරේටරය පාගන බව ය. මක්නිසා ද යත් වියට්නාමයේ නිශ්චිත තත්ත්වයක් තිබේ. ඒ අය නීති රීති වෙනස් කරන්නේ නැත. ඕක තමයි අපිට තිබෙන ප්‍රශ්නය. ඒ තත්ත්වය යටතේ සෑහෙන දුරට අපිට ආර්ථිකය යහපත් ආකාරයට ක්‍රියාත්මක බව දක්නට ලැබෙන්නේ නැත. උදාහරණයක් හැටියට ගතහොත් කලාපීය ආර්ථිකය දෙස බලන විට ඉන්දියාවේ ආර්ථිකය තමයි වැඩි වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ. බංගලා දේශය ඊ ළගට, ඊ ළගට සිටින්නේ මියන්මාරය වේ. අපි ඉන්නේ 5%ක් පමණ වර්ධනයක ය. අපි දැන් පිටිපසට වැටී ඇත. ඒක තමයි අපිට නොතේරෙන්නේ. අපේ ආර්ථිකයේ ගැම්මක් නෑ මෙ තත්ත්වය නිසා.
අපි අනික් පැත්තෙන් කල්පනා කරන්නට අවශ්‍යයි විශාල වශයෙන් රැකියා බිහි කිරීමත්, මිනිස්සුන්ට ඇගට දැනෙන වෙනසක් ඇති කරන්නේ කෙසේ ද යන්න. සාමාන්‍යයෙන් පැන්ෂන් ගන්න අය, හමුදාවේ අය, රජයේ සේවකයින්, පුද්ගලික අංශයේ අයට රුපියල් වලින් ලැබෙන ආදායම යම් ප්‍රමාණයකට වැඩිවී ඇත. මේ අයගේ ඉල්ලුමට ආණ්ඩුව උත්තේජනයක් ලබාදුන් හෙයින් ඒ අය පිටින් කෑම කන්නට පටන්නෙ ඇත. ආලේපන ද්‍රව්‍යය මිලදී ගන්නට පටන්ගෙන තිබේ. ඒ නිසා ආර්ථිකයට ද උත්තේජනයක් ඇති විය. අපි ගත්තොත් පෙට්‍රල් ෂේඞ්වල වැඩකරන අයට, ත්‍රිවිලර් පදවන අයට මෙන්ම ඒ වගේ ක්ෂේත්‍රවල සිටින අයගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වී තිබේ. ඒ නිසා මම හිතන්නේ රටේ මහා අඳුරු තත්වයක් නැති බවයි. ජනවාරි පෙබරවාරි තිබුණාට වඩා සමහර භාණ්ඩවල මිල අඩු ය. ආණ්ඩුවට දොස් කියන්නට නොව ඒවා ද පිලිගත යුතු ය.
ආණ්ඩුවට ලැබෙන ආදායම් නම් අර්බුදයකට ගොස් ඇත. ආණ්ඩුවට තමන්ගේ ගණන් හිලව් පියවා ගන්නට නොහැකිව දගලන බවක් පෙනෙන්න ඇත. ඒ නිසා දිර්ගකාලීන ආයෝජනවලට ප්‍රශ්නයක් වී ඇත. ඕක තමයි අද තිබෙන මූලික ප්‍රශ්නය. මේක මේ ජාතික ආණ්ඩුව නිසා ඇතිවූ දෙයක් ද යන්න කෙනෙකුට ඇසිය හැක. රනිල් වික්‍රසිංහ මහත්තයත්, මෛත්‍රිපාල සිරිසේන මහත්තයාත් මූලික සන්දර්භය, නැතිනම් මේ එකගතාවය අපි හදාගත්තේ නැතිනම් මෙතනින් ඉස්සරහට යන්නට බැරි බව ප්‍රකාශ කරති. උදාහරණයක් හැටියට ජාත්‍යන්තරයේ අපේ ප්‍රතිරූපය ඉතාම නරක ආකාරයට වැටී තිබුණි. අවසනාවට හෝ අවාසනාවට බටහිර රටවල් අපේ අපනයන වෙළඳ පොලවල් වී තිබේ. යුරෝපා සංගමය, ඇමෙරිකාව වගේ අය තමයි අපේ මිල දී ගන්නෝ. යම් දේශපාල ප්‍රතිසංස්කරණ ඇතිකර ගතයුතු බව ඒ අය කියති. ඒ ප්‍රතිසංස්කරණ කරන්නට නම් 2/3 ඡන්දයක් අවශ්‍ය නිසා ජාතික ආණ්ඩුවක් නැතිව එය කළ නොහැකි බව නායක දෙපොල පවසති. ඒ කියමනේ සාධාරණත්වයත් ඇත. ඊ ළගට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ආර්ථික වර්ධනයට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වල 3වැනි රැල්ල යන්නට එකගතාවයක් අවශ බව. විරුද්ධ පක්ෂය තලාපෙලා යටපත් කරනවාට වඩා සාකච්ඡාකර එකගතාවයක් ගත්තොත් වඩාත් පහසුයි කියන මතයේ එතුමා සිටින බව පැහැදිළි ය. එතන දි ඒ එකගතාවය ගන්නා විට අර වියට්නාමයේ වගේ ඒකපාක්ෂික ආණ්ඩුවක් නොවෙයි මෙහෙ තියෙන්නේ. වියට්නාමයේ තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඒකාධිපති පාලනය කි. කොමියුනිස්ට් පක්ෂය ඇතුලේ තමයි අර්බුද තිබෙන්නේ. කොමියුනිස්ට් පක්ෂය මේක කරපන් කියූ විට කළ යතු ය. එවැනි සංදර්භයක් අපිට නැත. කේවල් කරගෙන එකගතා හදාගෙන තමයි අපිට යන්නට වී තිබෙන්නේ. ඒ තුළ අපිට පේනවා එහෙට මෙහෙට කඹ ඇදිලි තිබෙන බව. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඬේ කාර්යක්ෂම ව කරයි කියලා.
මගේ අවසාන නිගමනය වන්නේ එහෙම හරි කරමු යන්න ය. නමුත් අර ප්‍රජාතන්ත්‍රිය වෙනස් කම් ටික තමයි ප්‍රමුඛු විය යුත්තේ. අලුත් ව්‍යවස්ථාවක්, මැතිවරණ ක්‍රමයේ වෙනසක්, ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම, වැනි දේ කෙරෙන්නට තිබේ. ඒක කෙරෙන්නට අවශ්‍ය බවට විවාදයක් නැත. තෙවැනි එක තමයි මේ සියල්ල ක්‍රියාත්මක කිරීම. ඒක ටිකක් මන්දගාමීවයි සිදුවන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. එක හේතුවක් තමයි අපේ රාජ්‍ය තන්ත්‍රණය ඕනෑවට වඩා දේශපාලනකරණය වී තිබිම. නැතිනම් පරිපාලනයේ කොන්ද කඩා දමා තිබීම. එහෙම නැත්නම් ඒ අයට හැකියාවක් නැතිකම.
උදාහරණයක් ලෙස ගතහොත් මේ ද්වී පාර්ශවික ගිවිසුම් වැනි විෂයක් ප්‍රගුන කරගන්නේ විශ්වවද්‍යාලයේ ඉගෙනගත් විෂයක් තුළින් නොවේ. එය ප්‍රගුණ කරගන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය තුළිනි. අපි 2007 සිට කිසිම වෙළඳ ගිවිසුමකට සහභාගි වි නැත. ඉන්දියාව ගතහොත් ඒ රට සමග 98 වසරේ දී පළවෙනි වෙළඳ ගිවිසුම අත්සන් කළේ අප ය. ඒක අපිට පළවෙනි වෙළඳ ගිවිසුම වූවා සේම ඒ අයටත් පළවෙනි වෙළඳ ගිවිසුම වූයේ ය. ඊට පසු 2002 වනවිට ඒ අය සිංගපූර් සමග තවත් ගිවිසුමක් සත්සන් තැබී ය. ඒක අර විස්තීරණ ගිවිසුමකි. 2003 නැත්නම් 2004 අයෙමත් අත්සන් කරන්නට සිටියේ අපිත් සමග. නමුත් අපි ඒක අත්සන් කළේ නැත. ඉන්දියාව එතනින් ඉදිරියට ගොස් වියට්නාමය සමග, කොරියාව සමග, ජපානය සමග, යුරෝපය සමග ද දිගින් දිගටම වෙළඳ ගිවිසදුම් අත්සන් කරගෙන ගියේ ය.
ඒ අය සමග ඒ කටයුතු වල යෙදුනු අයෙක් හැටයට ඒ අයටත් අපි තරමට යි මේ ගැන දැණුම තිබුනේ. සමහර විට අපේ දැනීම ඒ අයගේ දැනිමට වඩා හොඳ යැයි කියන්නට පුළුවන. මම ඔය විෂය අධ්‍යනය කළ පුද්ගලයෙකි. මම ඒ අය තරමටම හෝ එයිට වඩා ඒ විෂය ගැන දන්නවා යැයි කිව හැක. නමුත් මම හිතන ආකාරයට දැන් ගතහොත් ඒ අයට දැන් අපිට වඩා අර සාකච්ඡා තුලින් පන්නරය ලැබී ඇත. දැන් මොකක් හරි වගන්තියක් කියූ විට එහි අර්ථය, එහි සුළමුල මෙන්ම ආදීනව යන සියල්ලම ඒ අයගේ අත්දැකීමට එකතු වී තිබේ. අපි යන්නේ මාස ගනනාවක් ක්‍රිඩා නොකර සිට එක වරටම ලෝක කුසලානයට තරග කරන්නට ය. අපිට අවශ්‍ය පුහුණුව අතපසු වී ඇත. අපි දැන් තරග කරන්නේ දිගටම සෙල්ලම් කළ කට්ටියක් සමග ය. ඒක ටිකක් අපහසු බව ඇත්ත ය. සමහර විට ඒකම වෙන්නට පුළුවන් අපි මේ ගැන තීරණයක් නොගෙන එහෙ මෙහෙ දුවන්නේ. දෙවැනි එක තමයි ආණ්ඩුව යම් සීමිත කුලකයකින් තමයි තමන්ගේ විශේෂඥයින් හොයන්නේ. අපි ගත්තොත් මහ බැංකුවේ ප්‍රශ්නය ගැන එය පැහැදිළි ය. එතන දි අපි පිළිගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා මහ බැංකුවේ සේවය කළ අයෙක් බව. එයා ලංකාව ගැන දන්නා පුද්ගලයෙකි. 2002- 2004 කාලයේ ඔහු ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට සිටියේ ය. ඔහු මේ විෂය ගැන නොදන්න පුද්ගලයෙක් නොවේ. අයෝජන ක්ෂේත්‍රයේ, බැංකු ක්ෂේත්‍රයේ, මූල්‍ය කළමණාකරණයේ යෙදි සිටිය පුද්ගලයෙක ඔහු. සිඑන්එන් වගේ නාලිකාවලට ආර්ථික ප්‍රවනතා ගැන මත ඉදිරිපත් කළ විශේෂඥ භාවයක් තිබුණු බව පිලිගත් පුද්ගලයෙකි ඔහු. එයාගේ සුදුසුකම් ගැන අවංකව කථා කළහැක.
නමුත් එයා මෙහි පැමිණ වැඬේ කරන විට පලවෙනි මාස දෙකේම අර බැඳුම්කර සිද්ධියේ යම් කිසි සැකයක් ඇතිවේ. මේක වෙන්දේසියක් වූවාට ඒ වෙන්දේසිය ගැන සියල්ලන්ටම ඒක වෙලාවට දැනුම් නොදි කලින් දැනුම්දීමක් ගැන ඉවෙන් වගේ මිනිස්සුන්ට දැනෙන්නට විය. ඒක හරියට කළමණාකරනය කරගන්නට ඔහුට නොහැකි විය. මම එතුමා වැරැද්දක් කළ බවට තීරණය කරන්නේ නැත. මම කියන්නේ ඒක කළමනාකරණය කර ගැනිමේ දි අඩුපාඩුවක් සිදුවිය. ඔය නියාමන කටයුතු මහ විශාල මුදල් සම්භාර වලට වගකියන නිලධාරින්, පාර්ශවකරුවන්ගේ විශ්වාසය දිනාගතයුතු ය. ඒ විශ්වාසය දිනාගන්නේ ඉතාම පාරද්‍රෂ්‍යව තමන්ගේ කටයුතු කිරීම තුලිනි. ඊට අමතරව ඒ පාරද්‍රෂ්‍ය බව හා සාධාරණත්වය සන්නිවේදය කළ යුතු ය. ඒවා තමයි අපි විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැනි අභිමතය තිබෙන ආයෝජන තීරණ ගැන කටයුතු කරන විට අපි පිළිපැදිය යුතු දේ වන්නේ. වෙරිටේ ආයතනය 2015 දි බැඳම්කර ගැන විග්‍රහකර මේ හැමෝම කියන පාඩුව විශාල වැඩි බව පැවසුවේ ය. ඒ අය පාඩුවක් නොවුන බව නොකියන නමුත් පාඩුව ඒ කියන ඉලක්කම නොවන බවයි කියන්නේ. ඒ සඳහා ඒ අය සවිස්තර ආර්ථික සාක්ෂි ඉදිරිපත් කළේ ය.
ඊට අමතරව ඒ අය කියනවා මුදල් පැත්තෙන් අමතරව මෙතන විශ්වාසය කඩවිමක් වූ බව. විශ්වාසය පලුදු වූ පසු වෙන හානියට අපිට මිලක් නියම කරන්නට අපහසු ය. එන්න ඒකයි ප්‍රශ්නය. 2016 ද තවත් සිද්ධියක් සිදුවිය. පළවෙනි පාර වළේ වැටණාම දෙවැනි පාර ද ඒ වළේ නොවැටි ඉන්නට අවශ්‍ය ය. ඒ තත්ත්වය තුළ සමාජයේ විශාල ස්ථරයක් තුළ මහ බැංකු අධිපතිගේ විශ්වාසය කඩවිය. එතන දී අපි බැලුවොත් කලින් ආණ්ඩුව යටතේ තිබු තත්ත්වය මහ බැංකවේ අධිපති, එහෙම නැත්නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධිපති. වැනි අය එවැනි අර්බුධවලට මැදිිවිය. නමුත් එසේ මැදිවූවාට අපේ එක්කෙනා කියලා එයාව එවකට සිටි ජනාධිපතිතුමා ආරක්ෂාකර ගත්තේ ය. නමුත් එතුමාට තිබුණු බය සහ ඒ දේශපාලන වාතාවරණය යටතේ ඔය ආකාරයට උද්ඝෝෂණ කරන්නෙක් සිටියේ නැත. යම් ප්‍රමාණයකට විවෙචනය කළ අතර ඉන් පසු ඒක නැවතුනේ ය.
දැන් තියෙන වෙනස වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි වාතාවරණය තුළ අර විවේචනය දැන් පූර්ණ බලයක් ඇතිව පැමිණේ. ඒකේ දි මිනිසුන් තිරිංග තද කරන්නේ නැත. ඒක ඒ පැත්තෙන් අපිට කියන්නට පුලුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව. නම්‍යශිලිව කටයුතු කිරීම තුළින් අගමැති හා ජනාධිපති ඒ අයගේ භූමිකාව හරියට ඉටුකරන බව කිවහැක. අවිනිශ්චිත බව හා කඹ ඇදීම් තුළ අවසන් ප්‍රතිඵලය ලෙස කාටත් එකගවිය හැකි සුදුසුකම් තියෙන මෙන්ම ශ්‍රි ලංකා මහබැංකුවේ කලින් සේවයකර ඇති පුද්ගලයෙක් තමයි ආණ්ඩුව අවසානයේ තෝරාගන්නේ. මේ ක්‍රියාදාමය අවුල් සහගත බව යමෙකුට කිවහැකි නමුත් අවසානයේ ප්‍රතිඵලය යහපත් ය. අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ ක්‍රිිදාමයක් සහ හොඳ අවසාන ප්‍රතිඵලකි. මේක තමයි මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක අපිට ලැබෙන දේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *