එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට 9ක් රිමාන්ඩ්


 

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 9දෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මීට පෙර ඇප මත මුදාහැර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙක් එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඒ, අද (03) මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර ඇත්තේ මෙම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9දෙනාය.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ සුමතිපාල සුරේෂ් නමැත්තාට මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂිදීම සඳහා මීට පෙර අධිකරණයේ පෙනීසිටින ලෙසට නියෝග කළද ඔහු අධිකරණයේ පෙනීනොසිටි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබු බවය.

මෙම සාක්ෂිකරුට කිසියම් බලපෑමක් එල්ලවන බවට පෙනීයන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවන ආකාරයක් තමන්ට ද පෙනී යන බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරණ ලෙසය.

ඉන් අනතුරුව මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර නඩු විභාගය ලබන 13 වනදා තෙක් කල්තැබුණි.

පසුව, ඇප මත මුදාහැර සිටි විත්තිකරුවන් 9දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියෝග කළේය.

අරුණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *