පෙන්නුවාට ඇල්ලීමට නොහැකි කෝප් කමිටුව – අනුර සූරියබණ්ඩාර 

 

වර්තමානයේ පවතින ඖෂධ හිගය කෙරෙහි සෞඛ්‍ය බලධාරින් ගේ අරමුදල් කළමනාකරණ ප්‍රමාදය බලපා ඇති බව පසුගිය කෝප් කමිටුවේදී හඳුනා ගනු ලැබිණ. ඉන්දියානු  ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක් ලැබී ඇති නමුත් , 2022 අප්‍රේල් වන විටත් අමාත්‍යංශයේ ඖෂධ උප කමිටුව මඟින් නිර්දේශ ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 55.5ක වෛද්‍ය උපකරණ සහ සැපයුම් තොග සඳහා පමණක් බවත්  එය ආධාර මුදලින් 28% පමණක් බවත් කෝප් කමිටුවේදී වැඩිදුරටත්  අනාවරණය වී තිබේ. 2022 මැයි 18 වන විට නිර්දේශ ලබා දී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 92.9ක ඉන්වොයිස් සඳහා පමණක් බවද තව දුරටත් හෙළිදරව් වේ.

ඉන්දීය ණයට අමතරව සෞඛ්‍ය අංශ සඳහා ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය , ආසියානු සංවර්ධන බැංකුව සහ පරිත්‍යාගශීලින්ගෙන් ලද ආධාර ඇතුළු ඩොලර් මිලියන 330ක් මෙතෙක් වැයකර නැති බවත් එම මුදල් කඩිනමින් ප්‍රයෝජනයට ගතහොත් 2023 මැද භාගය වන තෙක් මෙරට ඖෂධ හිගයක් ඇති නොවන බවත් කෝප් කමිටුවේදී කියැවුණි.

ඉන්දීය ආධාර වැය නොකිරීම පිටුපස එම මුදල් මෙරටදී නොව එරටදීම වැය කළ යුතු වීම හේතුවක් වශයෙන් පවතිනවා විය හැකිය යන අදහසක් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ මුවින් පිට විය. සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ , අත්‍යවශ්‍ය ඖෂධ හිගයට හේතුව නිලධාරින් ගේ අකාර්යක්ෂමතාව බවය. ඊට අමතරව ඔවුන්ගේ වංචනික චේතනා ද පවතින ඖෂධ හිගය කෙරෙහි බලපා ඇතැයි සිතිය හැකිය. ඉන්දීය ආධාර ආදිය වැය කිරීම පසෙක ලා මෙරට මුදලින් කරන ගනුදෙනු මගින් කොමිස් ආදිය ලබා ගත හැකි බැවින් ඖෂධ සහ උපකරණ හිගයෙන් රෝගීන් ම්ය ගියත් නිලධාරින් වගකීම් පැහැරහැර ඇති බව අනුමාන කරන්නට පුළුවන.

සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ , අත්‍යවශ්‍ය ඖෂධ හිගයට හේතුව නිලධාරින් ගේ අකාර්යක්ෂමතාව බවය. ඊට අමතරව ඔවුන්ගේ වංචනික චේතනා ද පවතින ඖෂධ හිගය කෙරෙහි බලපා ඇතැයි සිතිය හැකිය. ඉන්දීය ආධාර ආදිය වැය කිරීම පසෙක ලා මෙරට මුදලින් කරන ගනුදෙනු මගින් කොමිස් ආදිය ලබා ගත හැකි බැවින් ඖෂධ සහ උපකරණ හිගයෙන් රෝගීන් ම්ය ගියත් නිලධාරින් වගකීම් පැහැරහැර ඇති බව අනුමාන කරන්නට පුළුවන. 

වෛද්‍ය සැපයුම් කළමනාකරණයට යොදා ගැනෙණ පරිගණක පද්ධතිය නිසි පරිදි යාවත්කාලීන කර නොමැති බව හා පරිගණක පද්ධතිය සැකසීමට සමාගමකට රුපියල් මිලියන 645ක් ගෙවා ඇති බවද කියැවේ. පරිගණක පද්ධතිය නඩත්තුවකින් තොරව පවතින්නේ නඩත්තුව සඳහා මසකට රුපියල් මිලියන 5ක් ගෙවමින් තිබියදීය. එකී හේතුව නිසා අඩු වියදමකින් නව පරිගණක පද්ධතියක් සකස් කරන්නට කටයුතු කෙරෙමින් පවතින බව ද කියැවේ.

ඉහත කරුණු අනුව මෙරට සෞඛ්‍ය බලධාරීන් වැරදි රැසක් කර ඇති සේම තවතවත් වැරදි කරමින් සිටින බවද පැහැදිලි නමුත් සිය පරීක්ෂණය අවසන කෝප් කමිටුව කළේ අදාළ පාර්ශ්වයනට උපදෙස් දීම පමණි.

කෝප් කමිටුව ස්ථාපනය කිරීමේ අරමුණ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන් හි මූල්‍ය විනය පවත්වාගෙන යාම ය. අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන 244ක් සහ සමාගම් නීතිය යටතේ ලියාපදිංචි රාජ්‍ය සමාගම් ද කෝප් කමිටුවේ අධීක්ෂණයට යටත් වේ. මහ බැංකු බැඳුම්කර මගඩිය සහ සතොස සහල් වංචාව, ආයෝජන මණ්ඩලයේ බඳවාගැනීම් ආදි වංචා දූෂණ රැසක් අනාවරණය කරන්නට කෝප් කමිටුවට හැකිවිය. 2003 වසරේ  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණයේදී දූෂණයක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් මගින් 2007 දී එය නැවත රජය සතු වීම  කෝප් කමිටුව හේතුවෙන් ලැබුණු ජයග්‍රහණයකි.

2012 වර්ෂයේ බාල ඛනිජ තෙල් ආනයනය ගැන කෝප් කමිටුව පරීක්ෂා කළ අතර අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයකින් පසුව එම තෙල් ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් තනතුරු වලින් ඉවත් කෙරුණු නමුත් ඔවුනට දඬුවම් පැමිණවීමක් සිදුවූයේ නැත. බැඳුම්කර වංචාව හෙළිකළ කෝප් කමිටුව ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියම කළ නමුත් නෛතික කටයුතු සිදුවන්නේ ඉබි ගමනිණි.

කෝප් නියෝග පාර්ලිමේන්තු නියෝග ලෙස සලකා කටයුතු කළ යුතු බව කියන නමුත් කෝප් කමිටුවත් පාර්ලිමේන්තුව තරමටම හෑල්ලුවට ලක් වූ අවස්ථා ද තිබේ. සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයා ව සිටි සමයේ සතොස සහල් වංචාවක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයට සුදුසු ඇඳුමක් නැතැයි කියා නොපැමිණි නිලධාරියාගේ සිදුවීම එවැනි අවස්ථාවකි.

මහින්ද රාජපක්ෂ යුගයේ කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා මගින් දූෂණ , වංචා ,අක්‍රමිකතා වැලැක්වීමට ලබා දුන් නිර්දේශ 200කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක නොවූ බව කීවේ,එකල කෝපා සභාපති තිස්ස විතාරණ මහතාය. එකල සහ මෙකල වෙනසක් නැත. අදත් එදත් කෝප් කමිටුවට පරීක්ෂණ කරන්නට මිස ක්‍රියාමාර්ග  ගන්නට බලයක් නොමැත. පාර්ලිමේන්තුවේ කමිටු සඳහා වසරකට රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් වැය වන්නේය කියන වටපිටාවක ක්‍රියාත්මක නොවන නිර්දේශ කරන්නට පමණක් නම් කෝප් කමිටුවෙන් පලක් තිබේද යන්න ගැන කල්පනා කළ යුතුය.

අදත් එදත් කෝප් කමිටුවට පරීක්ෂණ කරන්නට මිස ක්‍රියාමාර්ග  ගන්නට බලයක් නොමැත. පාර්ලිමේන්තුවේ කමිටු සඳහා වසරකට රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් වැය වන්නේය කියන වටපිටාවක ක්‍රියාත්මක නොවන නිර්දේශ කරන්නට පමණක් නම් කෝප් කමිටුවෙන් පලක් තිබේද යන්න ගැන කල්පනා කළ යුතුය. 

මේ කාරණය මෙසේ ලියන්නට හේතුව වර්තමානයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන යළි යළිත් කියැවෙමින් ඇති නිසාය. ඒ අතර පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු ගැන ද කියනු ඇසේ. අලුතින් පත්කරන අධීක්ෂණ කමිටුත් කෝප් හා සමානනම් ඒවායින් ද වියදම තරමට ප්‍රතිඵල නොලැබෙනවාට සැක නැත. රට ඉල්ලන්නේ දූෂණ, වංචා, අක්‍රමිකතා නැති කරනු කියාය. එසේ වුව , ව්‍යවස්ථා සංශෝධකයන්ට අවම වශයෙන් කෝප් කමිටුව ශක්තිමත් කරන යෝජනාවක් වත් කරන්නට අමතකව තිබීම ඔවුන් ගේ අවංකභාවය පිළිබඳ ගැටලුවක් ද යන වග කල්පනා කළ  යුතුය.

  අනුර සූරියබණ්ඩාර

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *