අගමැතිගේ ඉලක්කය ; ණය ගෙවීමට බිලියන පහක්, බිලියනයක සංචිත

 

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර “මූල්‍ය පාලමක්” ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ ණය ඇතුළු සෙසු ආපසු ගෙවීම් සඳහා ඇමරිකා ඩොලර් බිලියන පහක ඉලක්කයක් ඇති අතර තවත් ඇමරිකා ඩොලර් බිලියනයකින් රටේ සංචිත ඉහළ නැංවිමට ද ඉලක්ක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒකාබද්ධ වාණිජ මණ්ඩලය, ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඇතුළු වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් පරිත්‍යාගශීලී රටවල් සමග තවදුරටත් සාකච්ඡා කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජපානය සමඟ තිබූ සබඳතා බිඳ වැටී ඇති අතර එම සබඳතා යථා තත්ත්වයට පත්කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇතිකර ගැනීමට යම් කාලයක් ගත වනු ඇති බවද සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *