|

රට බංකොලොත් වුණේ සමාජවාදය නිසාය – මහාචාර්ය මිල්ටන් රාජරත්න

 

 

 

රජයේ වගකීම පාඩුවට ව්‍යාපාර කිරීම නොව මහා ජනයාට සේවය කිරීමය 

 

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුය 

 

සහන මිල වෙනුවට වෙළෙඳ පොළ මිල ක්‍රමයට මාරු විය යුතුය

 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය නිදහස ලද දා පටන් සමාජ වාදයට ලැදිකම් දැක් වූ අතර එම වාතාවරණය 1956-1965 ආණ්ඩු කාලවල විශේෂයෙන් කැපී පෙනුණි. සමාජවාදය උග්‍ර අතට හැරුණේ 1970-1977 කාලයේ දීය. ඉන් පසු ද ආර්ථිකය මත සමාජවාදී ලක්‍ෂණ වැඩෙන්නට විය. වර්තමානය වන විට අපේ රට වෙළඳ පොළ ක්‍රමයට වඩා සමාජ වාදය දෙසට ගමන් කරවනු ලැබ තිබේ. එබැවින් අද රට මුහුණ දී තිබෙන ආර්ථික බංකොලොත් භාවයට වග කිව යුත්තේ වෙළඳ පොළ නොව සමාජ වාදයයි.

සමාජ වාදය සහ ආර්ථික බංකොලොත් භාවය අතර ඇති සම්බන්ධතාව කුමක්ද..? ශ්‍රී ලංකා රජය ව්‍යාපාර කටයුතු කෙරෙහි යොමු වී සංස්ථා විසි ගණනක් ආරම්භ කරන ලදී. ඒවායෙහි අරමුණු සහ කළමනාකරණය ව්‍යාපාරික පදනමකට වඩා සමාජ වාදී පදනමකින් යුක්ත විය. එමගින් නිපදවූ භාණ්ඩ සහ සේවා පාරිභෝගික උවමනාවන් කෙරෙහි නොව රජයේ සිතැඟි තෘප්ත කර ගැනීම කෙරෙහි යොමු විය. නිෂ්පාදන ප්‍රමාණය, ගුණාත්මක භාවය, තාක්ෂණික මට්ටම සහ පිරිවැය යන අංශ කෙරෙන් ව්‍යාපාරික ගති ලක්‍ෂණ දිස් නොවීම නිසා පාර්භෝගික අවශ්‍යතා ඉටු කිරීමට එම ආයතන අසමත් වී කාර්මික ධාරිතාව පිරිහීමටත් පාඩු ලැබීමට පටන්ගත් බැවින් ඒවා දිගු කලක් නඩත්තු කිරීමට ජාතික ධනය අසීමිත ප්‍රමාණයක් කැප කිරීමට සිදු විය.

පසු කාලයයේ දී සංස්ථා වැඩි ගණනක් පෞද්ගලික අංශයට විකිණූ නමුත් සැලකිය යුතු රාජ්‍ය ව්‍යාපාර සංඛ්‍යාවක් අදටත් පාඩු ලබමින් රජයේ වියදමින් පවත්වා ගෙන යනු ලබයි. එමෙන්ම නව රාජ්‍ය ව්‍යාපාර පිහිටු වීමටත් පෞද්ගලික ව්‍යාපාර ජන සතු කොට රජයේ කළමනාකාරිත්වය යටතට ගැනීමටත් ඒ ඒ කාලවල ක්‍රියා කරනු ලැබීය. එම ආයතන රජයට පවරා ගත් පසු දිගින් දිගට පාඩු ලැබීම නිසා රජයට ඒ වෙනුවෙන් වාර්ෂිකව අධික මුදලක් වැය කිරීමට සිදු විය. ගුවන් සමාගම රජයට පවරා ගැනීම, නැවත පෞද්ගලික අංශයට පැවරීම සහ නැවතත් රජයට පවරා ගැනීම සේම ගෑස් සමාගම රජයෙන් පෞද්ගලික අංශයටත් යළි පෞද්ගලික අංශයෙන් රජයටත් මාරුවීම යන උදාහරණ මගින් රජයට රුපියල් බිලියන සිය ගණනක පාඩුවක් සිදු වූ බව නොරහසකි.

තවද, අප රටේ ක්‍රියාත්මක සහනදායි මිල ක්‍රමය සමාජවාදී චින්තනය පදනම් කර ගත් ක්‍රමයකි. සහන මිල ක්‍රමය වන්නේ රජය නියම කරනු ලබන උපරිම මිලයි. තෝරා ගත් භාණ්ඩ එනම් විදුලිය, ජලය, ගෑස්, ඉන්ධන යනාදිය සඳහා දිගින් දිගටම සහන මිලක් හෙවත් රජයට නිෂ්පාදන මිල පියවා ගැනීමටවත් නොහැකි අඩු මිලක් නියම කිරීම නිසා හට ගත් අලාභය පියවීමට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් සහ දිගු කාලීනව රුපියල් ට්‍රිලියන ගණනක් රජය විසින් එම ආයතනවලට ගෙවනු ලබයි. එම මිල ක්‍රමයෙන් දිලින්දාට වඩා ධනවතාට වාසි සැලසේ. ඒ කෙසේද යත් දිලින්දාට වඩා ධනවතා එම භාණ්ඩ වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන බැවිනි.

පොදුවේ ගත් කල නොමිලයේ භාණ්ඩ සහ සේවා සැපයීම ද තවත් සමාජ වාදී ක්‍රියාවකි. සියලු පාසල් ළමුන් සඳහා නොමිලයේ පෙළ පොත් සහ නොමිලේ නිළ ඇඳුම් යනාදිය සැපයීම නිසා ඒවා මිල දී ගැනීමට හැකියාව පවතින පවුල්වලටත් එකම සහන සැලසේ. එමගින් රජයට දැරීමට සිදු වන වියදම අධිකය. පාසල් සහ සරසවි අධ්‍යාපනය සේම සෞඛ්‍ය සේවාවද නොමිලයේ සියලු දෙනාට ලබා දෙන සේවාවකි. එම සේවාවන් සඳහා මුදල් ගෙවිය හැකි ධනවත් කමක් ඇති පිරිස්වලටද නොවෙනස්ව එම සේවාවන් නොමිලයේ සපයා දීමෙන් රජයට රුපියල් බිලියන් ගණනක වියදමක් දැරීමට සිදු වේ. එසේ ද්විත්ව ක්‍රමයකට ගියේ නම් රජයේ වැය බර සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකියාව තිබුණි.

ලක්ෂ ගණන් නොමිලයේ නිවාස,  විභාග සමතුන්ට තෑගී බෝග, පන්සල් පල්ලිවලට භෞතික සංවර්ධනය වෙනුවෙන් මුදල්, සහ දරිද්‍රතා රේඛාවෙන් ඉහළ සිටින පිරිස්වලට සහනාධාර යනාදී වියදම්වලින් ශ්‍රී ලංකා රජය හෙම්බත්ව සිටී. එහෙත් තව තවත් එවැනි දේ සොය සොයා වියදම් කිරීම රජයේ සිරිතයි. පිරිවැය පියවා ගැනීමට තරම්වත් මුදලක් අය නොකෙරන දුම්රිය, ලංගම සහ තැපැල් වැනි බොහෝ රාජ්‍ය සේවා සේවාවන් පවත්වා ගැනීම, නිෂ්ප්‍රයෝජන වැඩ, අති කාල ක්‍රම වෙනුවෙන් කරනු ලබන වියදම් සහ වාහන බලපත්‍ර ලබා දීම කරන කොට ගෙන සිදු වන අලාභ යනාදී මෙම සියලු රාජ්‍ය පිරිවැය රජයේ සමාජවාදී අදහස්වලට බැර කළ හැකිය.

සමාජවාදී පිළිවෙත් නිසා රජයට ඉපයිය හැකි ආදායම් අහිමි වනවා පමණක් නොව එම භාණ්ඩ සහ සේවාවන් සඳහා රජයට වාර්ෂිකව මුදල් වැය කිරීමට ද සිදුව තිබේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරවල පාඩු පියවීම ද රජයේ වගකීමක් බවට පත්ව තිබේ. මෙම උගුලෙන් ගැලවීමේ මාර්ග කෙරෙහි යොමු වීමට ආණ්ඩුවලට එක් අතකට උවමනාවක් නැත. ඊට හේතුව වන්නේ ජනප්‍රිය සමාජවාදී පිළිවෙත් පුළුල් කිරීම ඔස්සේ ඔවුන්ට යළි යළිත් බලයට පත්වීමට හැකිවීම නිසාය. දේශපාලන පොරොන්දුවල මූලික හරය සමාජවාදී පිළිවෙත් හා තදින්ම බැඳී පවතී. හාල් සේරු දෙක, හඳෙන් හාල්, ධාන්‍ය රාත්තල් අට, විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවර යනාදී නොයෙකුත් දේශපාලන පොරොන්දු ඒ සඳහා නිදසුන් වේ. එසේම නොමිලයේ හෝ අඩු මිලට දේවල් ලබා ගැනීම, රජයේ ව්‍යාපාර, රජයේ රැකියා යනාදිය කෙරෙහි මහජනයා මහත් ඇල්මක් දැක්වීමද රජයේ සමාජවාදී ආකල්පවල පැවැත්මට ඉවහල් වී තිබේ.

සමාජවාදී මිල ක්‍රමය වෙළඳ පොළ මිල ක්‍රමයක් නොව රජයේ මිල ක්‍රමයක් වන බැවින් එම ක්‍රමය අතාර්කික එකකි. එම මිල ක්‍රමයට ඉල්ලුම සහ සැපයුම මෙහෙය විය නොහැකිය. මිල විසින් ඉල්ලුම සහ සැපයුම මෙහෙය වීමට නම් වෙළඳ පොළ මිල ක්‍රමයක් අවශ්‍ය වේ.  සහනදායි මිල වෙනුවට වෙළඳපොළ මිල ක්‍රමය දැන් දැන් ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ක්‍රියාවට නංවමින් පවතී. ඊට ප්‍රතිචාර ලෙස ඉල්ලුම නව සමතුලිතයක් කරා ගමන් කරමින් තිබේ. එමගින් එම ආයතන ලබන පාඩුව පියාවා ගෙනීමට මග පෑදේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර කොටස් වෙළඳ පොළ හෝ වෙනත් මාර්ග ඔස්සේ පෞද්ගලීකරණය කර ගැනීමට රජය පෙළෙඹෙන්නේ නම් විශාල වියදමක් පිරිමසා ගත හැකිය. ඊට අමතරව රජයට එකවර අධික මුදලක් උපයා ගැනීමට ද හැකිවේ. වෙළඳ පොළ ක්‍රමයෙන් පීඩාවට පත්වන දරිද්‍රයන් වෙනුවෙන් සහන මිල නොව සහනාධාර සහ සලාක ක්‍රමවල පිහිට පැතිය යුතුය. රජයේ කාර්යය විය යුත්තේ පාඩු ලබමින් බිස්නස් කිරීම නොව මහ ජන සේවයයි.

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුවක් වන්නේ සමාජවාදී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් කටයුතු කිරීමයි. එකල පටන් වෙළඳපොළ ක්‍රමයට ඉඩ දී ක්‍රියා කළේ නම් රටේ නිෂ්පාදන සහ පරිභෝජන ක්‍රමය තාර්කිකව හැඩ ගැසීමට ඉඩ තිබුණි.  එවිට පාරිභෝගිකයා අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නැත. සමාජවාදී ක්‍රමය මත අඩු මිලට භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව තිබුණු බැවින් ඒවායෙහි ඉල්ලුම ඉහළ මට්ටමක පැවතිණි. ඉල්ලුම වැඩි වන විට සහන මිල යටතේ ලබන පාඩුව ද වැඩි විය. භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් ද දේශීය ගනුදෙනු පියවීම සඳහා රුපියල් ද මෙම රාජ්‍ය සමාගම්වලට හිඟ විය. මේ නිසා භාණ්ඩ හිඟය නිර්මාණය විය. මහ ජනයාගේ ප්‍රතිචාරවලින් දැන් පෙනෙන්නේ සමාජවාදී මිල ක්‍රමය නිසා භාණ්ඩ හිඟය සහ පෝලිම් හට ගන්නා බැවින් වෙළඳ පොළ මිලට භාණ්ඩ මිල දී ගැනීමට පරිසරයක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව රජයේ සමාජවාදී ක්‍රම අසාර්ථක බවත් එම ක්‍රමය දීර්ඝ කාලීනව ආර්ථිකයේ විනාශයට මග පෑදු බවත් දැන් පොදුවේ පිළි ගැනීමට පාත්‍ර වෙමින් පවතී. එසේ නම් සමාජවාදය වෙනුවට රටට ගැලපෙන වෙළඳපොල ක්‍රමයක් සහ ආයතන පද්ධතියක් නිර්මාණය කර ගැනීමට මෙම ආර්ථික අර්බුදය ආශීර්වාදයක් කර ගත යුතුය.

මහාචාර්ය මිල්ටන් රාජරත්න

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *