|

පොලිය නැංවීම විසඳුමද? – ආචාර්ය සී ඒ සාලිය


 

සාර්ව ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ බලවේගවල හැසිරීම් ක්‍ෂණික නැත. වතුර, සුළඟ, ගින්දර වැනි බලවේග මෙන් ක්‍ෂණික ව අත්දැකීමට අපට නොහැකි ය. උද්ධමනය, සේවා වියුක්තිය, කොටස් වෙළෙඳපොළ, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික වැනි වෙළඳපොළ බලවේගවල හැසිරීම් අපට අද්දැකීමට හැකි වන්නේ කෝච්චිය ගියාට පසුවය. එවිට පරක්කු වැඩි විය හැකි ය. බලධාරීන් සහ පරිපාලකයන් විසින් වෙළෙඳ පොළ බලවේග අවතක්සේරු කොට සෙල්ලම් කිරීම, “අලි ඇතුන් යොදා වත් ගිය නුවණ ඇද ගත නොහැකි යන්න ට හොඳින් ගැළපෙන උදාහරණයකි.

සාර්ව ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ බලවේගවල හැසිරීම් ක්‍ෂණික නැත. වතුර, සුළඟ, ගින්දර වැනි බලවේග මෙන් ක්‍ෂණික ව අත්දැකීමට අපට නොහැකි ය. උද්ධමනය, සේවා වියුක්තිය, කොටස් වෙළෙඳපොළ, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික වැනි වෙළඳපොළ බලවේගවල හැසිරීම් අපට අද්දැකීමට හැකි වන්නේ කෝච්චිය ගියාට පසුවය.

මහ බැංකුව විසින් මූලික පොලී අනුපාතික සියයට 7 කින් ඉහළ දමන ලදී. එකවර සියයට 7 කින් නැංවීම ඉතිහාසගත ඉහළ දැමීමකි. දැන් මූලික පොලී අනුපාතික සියයට 13.5 ක් සහ සියයට 14.5 කි.

මහ බැංකුව විසින් පොලී අනුපාතික වැඩි කරනු ලැබීමෙන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් කරුණු තුනක් වේ. එනම් උද්ධමනය පාලනය කිරීම, විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සහ සත්‍ය පොලී අනුපාතික පවත්වාගෙන යාමයි. මෙහි දී සිදුවන ගතික ක්‍රියාවලිය තේරුම් ගැනීමට මූලික පොලී අනුපාතික හඳුනා ගත යුතුය.

 

මූලික පොලී අනුපාතික (Policy rates)

මූලික පොලී අනුපාතික යනු මහ බැංකුව විසින් අනෙක් බැංකු සමඟ ගනුදෙනු කරනු ලබන ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකයි.

මූල්‍ය ප්‍රතිපත්ති අනුව (මහ බැංකුව විසින් නියම කරන ලද) වාණිජ බැංකු පවත්වා ගත යුතු සංචිත සහ ද්‍රවශීලතාව සඳහා ප්‍රමාණවත් අරමුදල් සෑම දිනයක් ම අවසානයේ වාණිජ බැංකු විසින් තුලනය කරනු ලැබිය යුතුය. එය සපුරා ගැනීමේ දී දිනය අවසානයේ සමහර බැංකු සතු ව මුදල් අතිරික්තයක් ද ඒ සමානව වෙනත් බැංකු මුදල් හිඟතාවකට ද මුහුණ දේ. අතිරික්ත මුදල් තිබෙන බැංකු එම මුදල් මහ බැංකුවේ තැන්පත් කොට පොලියක් උපයා ගනී. එසේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තබනු ලබන තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාතිකය, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නම් වේ (standing Deposit Facility Rate). එනම් මහ බැංකුව අනෙක් බැංකු වෙත ඔවුන් ගේ තැන්පතු සඳහා ගෙවන අවම (Floor) පොලී අනුපාතිකයයි.

එසේම දිනය අවසානයේ වාණිජ බැංකු පවත්වාගෙන යා යුතු සංචිත සහ ද්‍රවශීල වත්කම් හි හිඟතාවකට මුහුණ පා සිටින බැංකුවලට එය පියවා ගැනීම සඳහා මහ බැංකුව ණය පහසුකම් සළසනු ලැබේ. වාණිජ බැංකු මහ බැංකුවෙන් ගන්නා ලද ණය සඳහා අය කරන උපරිම (ceiling) පොලී අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නම් වේ (standing Lending Facility Rate)

බැංකු අනුපාතිකය (Bank Rate): වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ සඳහා පැනවෙන පොලී අනුපාතිකය බැංකු අනුපාතිකය වේ. මහ බැංකුව අවසාන ණය දෙන්නා වශයෙන් ක්‍රියාත්මක වීම මින් අදහස් වේ. මෙම ණය දීම් යම්කිසි වත්කමක් උකසට තබා ලබා ගත යුතු වන අතර ඉහළ පොලී අනුපාතය දඬුවම් අනුපාතයක් ලෙස සැලකේ.

මීළඟට පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධාන අරමුණු තුන විමසා බලමු.

 

උද්ධමනය පාලනය

උද්ධමනය යනු මිල මට්ටම් අඛණ්ඩ ව ඉහළ යාම යි. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කොට ඇති උද්ධමන අනුපාතික අනුව පසුගිය ජනවාරියේ සමස්ත වාර්ෂික උද්ධමනය සියයට 14.2 ක් වූ අතර මාර්තු මාසයේ සියයට 16 ක් ද, අප්‍රේල් මාසයේ සියයට 33.8 ක් ද බව වාර්තා විය. මැයි මාසයේ දී එය තවත් වැඩි විය හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කොට ඇති උද්ධමන අනුපාතික අනුව ආහාර ද්‍රව්‍ය සඳහා උද්ධමනය ජනවාරියේ සියයට 24 ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණේය. එය වර්තමානයේ සියයට 45.1 ක් වැනි අගයක් කරා ඉහළ ගොස් ඇති බව පෙනේ. මෙයට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ ඉල්ලු‍මට සරිලන සැපයුම නොමැතිවීමයි. මහ බැංකුව විසින් මුදල් නෝට්ටු වාර්තාගත ලෙස මුද්‍රණය කරනු ලැබීමෙන් මුදල් සංසරණය වැඩි වී ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි වී ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් ඉහළ යයි. එයට සරිලන ලෙස කෙටිකාලීනව සැපයුම වැඩි නොවේ. ප්‍රතිඵලය වන්නේ මිල ඉහළ යාමයි. සාම්ප්‍රදායිකව මෙයට පිළියමක් ලෙස සංසරණය වන මුදල් බැංකු පද්ධතිය තුළට උරා ගැනීම සඳහා වැඩි පොලී අනුපාතික පිරිනමනු ලබයි. මේ සඳහා සම්ප්‍රදායිකව පිළිගත් ප්‍රතිකර්මය ලෙස මහ බැංකුව විසින් මූලික පොලී අනුපාතික සියයට 7 කින් ඉහළ දමන ලදී.

මෙහි අතුරු ප්‍රතිඵලය වන්නේ පොලී අනුපාතික වැඩි වූ විට මිනිසුන් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කොට අවදානම් ගැනීම සහ වෙහෙස වීම පසෙක ලා පොලී උපයන බැංකු ස්ථාවර තැන්පතු තර කොට “සුවසේ” සිටීමට පෙළඹීමය. නිෂ්පාදන ක්‍රියාවලියට මුදල් ආයෝජනය නොවෙනවා යනු ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීමයි. එමෙන් ම බැංකු තැන්පතු තර කොට, ඉතිරි කිරීම් වැඩි වීම යනු මුදල් සංසරණය අඩු වීමයි. එවිට ඉල්ලු‍ම අඩු වී මිල මට්ටම් ස්ථාවර විය හැකිය. එනම් “උද්ධමනය පාලනය වේ” යන්න සාම්ප්‍රදායික පිළිගැනීමයි. අනෙක් අතට පොලී අනුපාතික වැඩි වීම නිසා ණය ගැනීම අධෛර්යවත්වීමෙන් ආයෝජන පසු බෑමකට හේතු වේ. මෙම චක්‍රය තව තවත් උත්තේජනය වී තව තවත් ආර්ථික ක්‍රියාකාරකම් සිදුවිය හැකිය. එවිට සැපයුම අඩුවීමෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටු නොවීමට ඉඩ තිබේ. එහෙත් සාම්ප්‍රදායික න්‍යාය සර්ව කාලීන සදාතනික නියමයන් ලෙස පිළිගත යුතු නැත.

 

සත්‍ය පොලී අනුපාතිකය ඍණ නොවීමට

සත්‍ය පොලී අනුපාතිකය යනු උද්ධමනයට වඩා බැංකු පොලී අනුපාතිකය වැඩි වන ප්‍රමාණයයි. බැංකු පොලිය උද්ධමනයට වඩා අඩු නම් මිනිසුන් ඉතිරි කිරීමට පෙළඹෙන්නේ නැත. බඩු මිල ඉහළ යන වේගය සමඟ වඩා ලාභදායී වෙන්නෙ හැකි තරම් භාණ්ඩ එක් රැස් කොට ගබඩා කොට තබා ගැනීමෙනි. එමඟින් භාණ්ඩ ඉල්ලු‍ම තවත් වැඩි වී උද්ධමන වේගය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් මඟින් විෂම චක්‍රයක් ඇති විය හැකි ය. එනම් පොලී අනුපාතික සහ උද්ධමන වේගය එකිනෙකා උත්තේජනය කරමින් අඛණ්ඩ ලෙස ඉහළ යාමේ විෂම චක්‍රයයි.

ඉහත දත්ත විමසූ විට පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ සත්‍ය පොලී අනුපාතිකය ඍණ බව පමණක් නොව එය විශාල පරතරයකින් ඍණ බවයි. එනම් බැංකු විසින් මහජන තැන්පතු සඳහා ගෙවනු ලබන පොලිය උද්ධමන වේගයට වඩා විශාල අගයකින් අඩු බවයි. එසේ නම් ඉදිරියේ දී මෙම පොලී අනුපාතික ශීඝ්‍රයෙන් තව තවත් ඉහළ යාමට ඉඩ කඩ බොහෝ වැඩි බවයි.

ඉහත දත්ත විමසූ විට පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ සත්‍ය පොලී අනුපාතිකය ඍණ බව පමණක් නොව එය විශාල පරතරයකින් ඍණ බවයි. එනම් බැංකු විසින් මහජන තැන්පතු සඳහා ගෙවනු ලබන පොලිය උද්ධමන වේගයට වඩා විශාල අගයකින් අඩු බවයි. එසේ නම් ඉදිරියේ දී මෙම පොලී අනුපාතික ශීඝ්‍රයෙන් තව තවත් ඉහළ යාමට ඉඩ කඩ බොහෝ වැඩි බවයි.

 

 

විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම

පොලී අනුපාතික ඉහළ දැමීමට හේතු වූ අනෙක් කරුණ වන්නේ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමයි. ඩොලරයේ අගය වැඩි වීමට සාපේක්‍ෂ ව රුපියල් තැන්පතු සඳහා වැඩි පොලියක් ලැබේ නම් මිනිසුන් ඩොලර් තබා ගැනීමට අධෛර්යවත් වේ. ඩොලර් මාරු කොට රුපියල් තැන්පතු ඉහළ පොලී අනුපාතිකවලට ආයෝජනය කිරීමෙන් ලාභය වැඩිය. ඩොලර් තැන්පතු සඳහා ලැබෙන පොලිය සියයට 4 සියයට 6 වැනි ඉතා අඩු මට්ටමක පවතී. රුපියල් තැන්පතු සඳහා සියයට 19.5 ක වාර්ෂික පොලියක් මඟින් වසර හතරකින් තැන්පතු මුදල දෙගුණ වේ.

පොලී අනුපාතික ඉහළ විට රුපියල් සඳහා ඉල්ලු‍ම වැඩි වී ඩොලර් සඳහා ඉල්ලු‍ම අඩු වේ. එහි ප්‍රතිඵලය වන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂ ව ඉහළ යාමයි. මෙම තත්ත්වය සාක්‍ෂාත් කර ගැනීමට නම් ඩොලරයේ අගය වැඩි වීමට හේතු වන අනෙකුත් සාධක ද පාලනය කිරීමට සිදු වේ. එනම් ඩොලර් සඳහා ඉල්ලු‍ම තීව්‍ර කරන ආනයන පාලනය කිරීමයි.

ආනයන පාලනය ද ඉතා කල්පනාකාරීව විද්වත් මත විමසා ජනතාවට බරක් වේදනාවක් නොවන පරිදි සෙමින් පරිස්සමින් ක්‍රියාත්මක කළ යුතුවේ. නො එසේ නම් රසායනික පොහොර සහ වල් නාශක ආනයනය තහනම් කිරීම වැනි අත්තනෝමතික තීරණ වැරදි තීරණ බව පසක් වන විට කෝච්චිය ගොස් හමාර ය.

 

කොටස් වෙළෙඳපොළට ඇති බලපෑම

පොලී අනුපාතික වැඩි කිරීම නිසා කොටස් වෙළෙඳපොළට වන බලපෑම මෙමඟින් ඇතිවන ඉතා අවාසිදායක තත්ත්වයකි. රටේ පවතින තත්ත්වය අනුව කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබූ අවධියක පොලී අනුපාතිකද ඉහළ යාම කොරේ පිටට මරේ වැටුණා මෙන් විය. එහි දී සිදු වන්නේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කොට ඇති ආයෝජකයන් වඩා සුරක්ෂිත සහ අවදානම අඩු, ස්ථිර ආදායම් සහිත, පොලී උපයන, භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර හෝ ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීමට පෙළඹීමයි.

මෙහිදී සිදුවන දේ ද විෂම චක්‍රයක් ලෙස අහිතකර ලෙස වර්ධනය වීම නොවැළැක්විය හැකිය. එනම් ඉල්ලු‍ම සහ සැපයුම යන වෙළෙඳ පොළ බලවේග දෙක එකිනෙකා පෝෂණය කරමින් ක්‍රියාත්මක වීමයි. එනම් දැනට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කොට ඇති ආයෝජකයන් ඉන් ඉවත්වීමෙන් වෙළෙඳපොළේ කොටස් සැපයුම වැඩි වන අතර ආයෝජනය කිරීමට අදහස් කරගෙන සිටි ආයෝජකයන් එම අදහස අතහැරීමෙන් කොටස් සඳහා ඇති ඉල්ලු‍ම අඩුවීමයි. ප්‍රතිඵලය වන්නේ කොටස් මිල ශීඝ්‍රයෙන් පහත වැටී කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට ලක්වීමයි. මේ කඩා වැටීම නිසා මෑත කාලයේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කිහිප වාරයක් අත්හිටුවීමට ද සිදු විය.

ආයෝජනය කිරීමට අදහස් කරගෙන සිටි ආයෝජකයන් එම අදහස අතහැරීමට බලපාන තවත් හේතුවක් වන්නේ අදට වඩා හෙට මිල අඩු වීම අපේක්‍ෂා කිරීමෙන් ආයෝජනය කිරීම කල් දැමීමයි. මෙම සිතුවිල්ල වෙනස් කිරීමට නම් ආයෝජකයන් වෙත ඉතා ධනාත්මක සංඥා ලැබිය යුතුය. එහෙත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන සමාගම් මඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන ශක්‍යතාව සහ ණය ශ්‍රේණිගත කිරීම දිගින් දිගටම පහත හෙළීමෙන් සිදු වන්නේ ඍණ සංඥා නිකුත් වීමයි. එයින් ආයෝජකයන් තව තවත් අධෛර්යවත් වී දැනට ආයෝජකයන් සතුව පවතින කොටස් වහ වහා විකිණීමට පෙළඹෙන අතර මිලදී ගැනීමට ගැනුම්කරුවන් නැති වීම නිසා කොටස් මිල තව තවත් පහත වැටීම සිදු වේ.

අහිතකර ආර්ථික පසුබිමක, ශ්‍රී ලංකාවේ ආයෝජන ශක්‍යතාව දිගින් දිගටම පහත හෙළීමෙන් කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම වේගවත් වන අතර එමඟින් සිදුවන තවත් අහිතකර බලපෑමක් වන්නේ විදේශීය ආයෝජකයන් සිය කොටස් වහ වහා විකුණා දමා එම ඩොලර් ආයෝජන වෙනත් ඵලදායී වෙළෙඳපොළවල් කරා ගෙන යෑමයි. එමඟින් සිදුවන්නේ ද ඩොලර් හිඟතාවක් ඇති වී ඩොලර් සංචිත අඩුවීම පමණක් නොව ඩොලරයේ මිල ද ඉහළ යාමයි.

 

ඉතිහාස පාඩම්

මෙවැනි පසුබෑම් සිදු වූ එකම සහ පළමු රට ශ්‍රී ලංකාව නොවේ. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම සම්බන්ධයෙන් ඉතා දුර්වල තත්ත්වයක සිටින්නෙමු. 1997 දී පෙරදිග ආසියාවේ රටවල් බොහොමයකට ම ද මෙවැනි ම විනිමය අනුපාතික කඩාවැටීම්වලින් ඉතා දුෂ්කර තත්ත්වයනට මුහුණ දීමට සිදු විය. මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල් පමණක් නොව ආසියාවේ මකරුන් හතර දෙනා නමින් විරුදාවලි ලත් සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව සහ තායිවානයේ ද විනිමය අනුපාතික අසාමාන්‍ය ලෙස කඩා වැටීමට ලක් විය. එයට හේතු භූත වූ කරුණු අතර ප්‍රබලම හේතුවක් වූවේ ඔවුන්ගේ විනිමය අනුපාතික වෙළෙඳපොළේ බලවේග නොතකා ඩොලරය සමඟ ගැට ගසා දීර්ඝ කාලයක් ස්ථාවරව තබා ගැනීමයි.

ඒ අවධියේ ශ්‍රී ලංකාවේ සමහර පටු අවස්ථාවාදී වාණිජ මණ්ඩල වැනි ආයතන රුපියල ද බාල්දු කරන ලෙසට බලපෑම් කළේය. එහෙත් රුපියලට එසේ කිරීමට අවශ්‍ය නැති බව එවකට සිටි බලධාරීන් කරුණු දැක්වූවේ රුපියල ඩොලරයට ගැටගසා බලහත්කාරයෙන් ස්ථාවර කොට ගෙන නැති බවත් වෙළඳපොළ බලවේගවලට අනුව හැසිරීමට ඉඩ දී ක්‍රමයෙන් අවප්‍රමාණ වී ඇති බවත් පෙන්වා දීමෙනි.

 

අවසාන විග්‍රහය සහ විසඳුම්

අවසාන විග්‍රහයේ දී අප මුහුණ දී ඇති තත්ත්වයට මූලිකම හේතුව වශයෙන් දැක්විය හැක්කේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ තිබූ උද්දච්ච සහ අලස ප්‍රතිපත්තියයි. රුපියල ඩොලරයට ගැට ගසා බලහත්කාරයෙන් ස්ථාවරව තබා ගැනීමට ගත් මුරණ්ඩු හිතුවක්කාර ප්‍රතිපත්තිය නිසා, අපනයනකරුවන් මෙන්ම විදෙස් ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ද අධෛර්යවත් වී අපහසුතාවට ලක් විය. විද්වතුන් කොතෙක් මේ තත්ත්වය ගැන විග්‍රහ කළ ද ඒ සම්බන්ධයෙන් බලධාරීන් අලසව ක්‍රියා කිරීම තත්ත්වය බරපතළ වීමට හේතු විය.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒමේ එක් පියවරක් ලෙස රුපියල නැවත වෙළෙඳපොළ බලවේග අනුව හැසිරීමට සැලැස්වීම පැසසිය යුතුය. එහෙත් තත්ත්වය සමනය වීමට නම් ආයෝජන දිරිමත් කිරීම සඳහා අපගේ රට කෙරේ විශ්වාසය නැවත ගොඩ නැගිය යුතුය. එයට දේශපාලන ස්ථාවරභාවය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ද, ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ද ඇති කිරීම සහ එසේ තිබෙන බව ලෝකයට දැනීමට, පෙනීමට ද සැලැස්විය යුතුය. එය ගොඩනගන්නේ කෙසේද යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනමම මාතෘකාවකි.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒමේ එක් පියවරක් ලෙස රුපියල නැවත වෙළෙඳපොළ බලවේග අනුව හැසිරීමට සැලැස්වීම පැසසිය යුතුය. එහෙත් තත්ත්වය සමනය වීමට නම් ආයෝජන දිරිමත් කිරීම සඳහා අපගේ රට කෙරේ විශ්වාසය නැවත ගොඩ නැගිය යුතුය. එයට දේශපාලන ස්ථාවරභාවය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ද, ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ද ඇති කිරීම සහ එසේ තිබෙන බව ලෝකයට දැනීමට, පෙනීමට ද සැලැස්විය යුතුය. එය ගොඩනගන්නේ කෙසේද යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනමම මාතෘකාවකි.

මීට සමගාමී ව මහ ජනතාව ද කටුක අද්දැකීම් දරා ගැනීමට සූදානම් විය යුතුය. ඒ සඳහා ද අවසාන විග්‍රහයේ දී අවශ්‍යය වන්නේ ජනතාව තුළ ආණ්ඩුව සහ පරිපාලනය කෙරෙහි විශ්වාසය නැවත තහවුරු කිරීමය.

ආචාර්ය සී ඒ සාලිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *