රජයක් පවතින්න ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

2003දී එක්සත් ජාතික පක්‍ෂය තම පාලන කාලයේදී උත්සාහ කළා, රටේ නීති-රීති වෙනස් කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස් කරගන්න. නමුත් ඒ වෙලාවේ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට ඒ දේවල් අතඅරින්න වුණා. සුරා බදු පනත, රේගු පනත වෙනස් කරන්න ඔවුන් උත්සාහ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. විවිධ ආයතන අධිකාරී බවට පත් කරන්න උත්සාහ කළා. මේ කි‍්‍රයාවලියට එරෙහිව නැගුණු ජනතා විරෝධය හමුවේ ඒවා හකුළා ගන්න සිදුවුණා පමණක් නොවෙයි අවසානයේ එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුව දාලා විපක්‍ෂයට යන්න සිද්ධ වුණා.

දැන් තිබෙන මෛතී‍්‍ර-රනිල් හවුල් පාලනය එම පැරණි කි‍්‍රයාමාර්ග ඒ  ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කරන්න යනවා. මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව මේ සෙල්ලම් කරමින් ඉන්නේ ජන වරමත් සමඟයි. මහජනතාවගේ ජනවරමට පිටුපාන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. මේ ආණ්ඩුව හදපු ජනතාවගේ වරම තිබුණේ නාස්තිය, දුෂණය, වංචාවට එරෙහිවයි. මේ ආණ්ඩුව එම මතය නියෝජනය කළ යුතුයි. දින 100 ආණ්ඩුව කාලයේ දුෂණ මර්දනය වෙනුවෙන් විවිධ කි‍්‍රයාමාර්ග සඳහා අපිත් මැදිහත් වුණා. නමුත් අද ජනතාවට දුන් පොරොන්දු උපන් ගෙයි මරා දාලා සුපුරුදු නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.
ජාතික විගණන පනත එම කි‍්‍රයාමාර්ගවලට හොඳම උදාහරණයයි. ජනතාවගේ බලපෑම නිසා මේ ආණ්ඩුවට 19වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න සිදුවුණා. එම සංශෝධනයන්ට අනුව ජාතික විගණන  සේවා කොමිසම පිහිටුවන්න සිදුවුණා. එම කොමිසම සඳහා දැන් නව කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් එම ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික විගණන පනත තවමත් සම්මත කර නැහැ. ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කරන නීතිය තමයි ජාතික විගණන පනත. එම පනත ප‍්‍රමාදය කිරීම නිසා විගණකාධිපතිවරයාට තමන්ට අවශ්‍ය නිලධාරීන් පවා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. පනත ප‍්‍රමාදය නිසා විගණකාධිපතිවරයාගේ වැටුපවත් ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. විගණන පනත හරහා ජාතික විගණන සේවා කොමිසමට බලය පැවරිය යුතුව තිබෙනවා. නමුත් දැන් කොමිසමට අවශ්‍ය ප‍්‍රතිපාදන නැහැ. අද විකණකාධිපතිවරයා පිළිබඳව විශාල සාකච්ඡුාවක් මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, ගිණුම් කාරක සභාව වැනි කමිටුවලට විගණකාධිපතිවරයාගේ මැදිහත්වීමත් සමඟ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදුන් පිටු 1251ක ඓතිහාසික වාර්තාව නිසා ඔහුගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ ඇගයීමක් තිබෙනවා. මේ ආණ්්ඩුව ජනවරමට අනුව කටයුතු නොකළත් විගණකාධිපතිවරයා ජනවරම නියෝජනය කරමින් කටයුතු කරනවා. රටේ ජනතාව විගණකාධිපතිවරයා පිළිබඳව විශ්වාසයකින් ඉන්නවා.

මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියමින්, නීතියේ ස්වාධීනත්වය ගැන කියමින්, නාස්තිය-දුෂණය පිටුදකිනවා කියමින්, යහ පාලනය ගොඩනගනවා කියමින් සිදුකරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිව අතරමඟ නතර කොට තිබෙනවා. එජාප ඇමතිවරු කියනවා විගණන පනතෙන් ජාතික ආරක්‍ෂාවට අදාල කරන වගන්ති තිබෙන නිසා කැබිනට් අනු කමිටුවක් දාලා ජාතික ආරක්‍ෂාවට අදාල කරන වගන්ති පිළිබඳ හොයනවා කියලා. අපි අභියෝග කරනවා එම ජාතික විගණන පනතේ ජාතික ආරක්‍ෂාවට හානිකරන වගන්ති එකක් හෝ පෙන්වන්න කියලා. මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ කප්පාදු කරපු පනත් විතරයි. මෑතකදී තොරතුරු පනත සම්මත කළා. තොරතුරු දැනගන්න ගියාම අපිට බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ජාතික විගණන පනතත් මේ විදියටම බලය අඩු කරලා ගේන්න හදනවා. මෙම ජාතික විගණන පනතේ 21 වගන්තියට අනුව නිලධාරීන්ට අධිභාර පනවන්න පුළුවන්. වැරදි කරන නිලධාරීන්ගෙන් පාඩුව අයකරගන්න පුළුවන්. අපේ රටේ පරිපාලන නිලධාරීන් කරන වැරදි, වැරදි නෙවෙයිද? සුදු කරපටි අපරාධ ගැන කථා කරන්නේ නැත්තේ ඇයි? ජීවත් වෙන්න අමාරු මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවොත් ඒක මහා අපරාධයක් ලෙස දකින, සී.සී.ටී.වී. කැමරාවලින් අපරාධ හොයන අපේ රටේ වයිට් කොලර් ක‍්‍රයිම් ගැන හෙළිදරව් නොකරන්නේ ඇයි? එම අපරාධකරුවන් දේශපාලන බලයේ ආනුභාවයෙන් අපරාධ කරනවා. එවැනි සුදු කරපටි අපරාධකරුවන් මේ විගණන පනතට බයයි.

රජයක් පවතින්න  ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. මහජන ජනවරම ලැබුණේ ඒ සඳහායි. අපි ආණ්ඩුවට බලකරනවා ජාතික විගණන පනත කිසිදු සංශෝධනයකින් තොරව පාර්ලිමේන්තුවට ගේන්න කියලා. ආණ්ඩුවට කරන්න අවශ්‍ය සංශෝධන තිබෙනවා නම් ඒක පාර්ලිමේන්තුවේදී කරමු. එවිට සංශෝධනය කරන දේවල් පිළිබඳව ජනතාවට බලාගන්න පුළුවන්. වැරදි කරපු අයගෙන් අයකරගන්න දැනටත් නීතිමය ප‍්‍රතිපාදන තිබෙනවා. එය තවදුරටත් බලාත්මක කිරීමට, විගණන කි‍්‍රයාවලියකට යටත් කිරීමට පාර්ලිමේන්තුවට යටත් කිරීමට ආණ්ඩුව විරුද්ධ වෙන්නේ ඇයි? ඒවාට අදාල කරන වගන්ති ඉවත් කරන්නේ ඇයි? මේ කරමින් තිබෙන්නේ නීතිමය බලතල හෑල්ලූ කිරීමක්. නීතිමය ප‍්‍රතිපාදන හෑල්ලූ කිරීමෙන් ආණ්ඩුව කියන්න උත්සාහ කරන්නේ තමන් හොරු අල්ලන්න දෙන්නේ නැහැ කියලයි. තමන් හොරු ආරක්‍ෂා කරනවා කියන එකයි. මහින්ද රාජපක්‍ෂ පාලනය කාලයේ හොරු රැුකපු විදිහටම මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව කියන්නෙත් හොරු ආරක්‍ෂා රකිනවා කියලද?

අද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විගණකාධිපතිවරයාගේ වාර්තාවලට ගහන්න පටන් අරගෙන. ලක්‍ෂ්මන් කිරිඇල්ල විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අඩුපාඩු විවේචනය කරනවා. විගණකාධිපතිවරයා තමන්ට තිබෙන සීමාකම් හමුවේ මහබැංකු බැඳුම්කර පිළිබඳව විගණන වාර්තාවක් ඉදිරිපත් කළා. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඒක විවේචනය කරනනේ ඔහුගේ අමාත්‍යාංශ්‍යට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරු පත්කිරීමක් පිළිබඳව මේ දිනවල විගණන පරීක්‍ෂණයක් සිදුවන නිසාද? අමාත්‍යාංශයට සුදුසුකම් නොමැති පුද්ගලයින් පත්කරන විට ඒ ගැන පරීක්‍ෂයක් කිරීම, අඩුපාඩු පෙන්වා දීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරයයි. විගණකාධිපතිවරයාට තිබෙන එම ස්වාධීනත්වය හෑල්ලූ නොකර ඇමතිවරුන් කළ යුත්තේ තමන්ගේ අඩුපාඩු හදා ගැනීමයි. එසේ නැතිව ඇමතිවරු පනත් අකී‍්‍රය කිරීම සිදු නොකළ යුතුයි. තමන්ගේ අඩුපාඩු පෙන්වා දීම පිළිබඳව ඇමතිවරු විගණකාධිපතිවරයාට ස්තුති කරනවා වෙනුවට අද කරන්නේ ඔහුට පහර දීම.

මේ වනවිට විගණන නිලධාරීන් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවට විරෝධය පළකරලා විගණන කටයුතුවලින් ඉවත් වෙනවා කියලා ප‍්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ ඇමතිවරු නම් ඒකට ගොඩක් කැමති වෙයි. ඇමතිවරුන්ට  ඕනවෙලා තිබෙන්නේ මෙම විගණන කටයුතු අඩපණ කරන එකයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව වහලා දානවා නම් මේ ඇමතිවරුන් ගොඩක්ම කැමති වෙයි. ඒකද ‘යහ පාලනය’ කියන්නේ? මේ ආණ්ඩුව තමන්ට බලය ගන්න  ඕන වුණාම ¥ෂණයට එරෙහිව මත හැදුවට බලය ගත්තාම ඒ මතය නියෝජනය කරන්නේ නැහැ. අපේ රටේ ජනතාවට මාධ්‍යවේදීන්ට අවංක වුවමනාවක් තිබෙනවා, වංචාව-දුෂණය, නාස්තිය නතර කරන්න. තමන්ගේ බදු මුදල්වලට සාධාරණය වෙනවාට අපේ රටේ ජනතාව කැමතියි. ඒ නිසා විගණන සේවා කොමිසම බලාත්මක කරන ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම වගන්ති කප්පාදු නොකර එම පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

මේ දිනවල අපේ රටේ ව්‍යාපාරිකයින් ස්වාධීනව පාරට බැහැලා වැට් බදුවලට විරෝධය පළකරනවා. දේශපාලන භේදයකින් තොරව ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් ව්‍යාපාරිකයින් සමඟ, ජනතාව සමඟ එක්වී වැට් බදු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා. රවී කරුණානායක කියනවා මේ විරෝධතා පවත්වන්නේ බදු නොගෙවන ව්‍යාපාරිකයින් කියලා. එතකොට රවී කියන්නේ අපේ රටේ සියලූ ව්‍යාපාරිකයින් බදු ගෙවන්නේ නැහැ කියලද? ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කිරිබත්ගොඩ, අම්පාර ඇතුළු සියලූම නගරවල කඩ වහපු ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නැහැ කියලද රවී කරුණානායක කියන්නේ? ව්‍යාපාරිකයන් බදු ගෙවන්නේ නැත්නම් ඒ අඩුපාඩුව තිබෙන්නේ ආණ්ඩුවෙයි. ව්‍යාපාරිකයින් බදු අයකරගන්න ආණ්ඩුවට බැරිනම් ඒකට වගකියන්න  ඕනේ රටේ මුදල් ඇමතිවරයායි. ඒ නිසා ආණ්ඩුවේ ඇතමුන් කරන මේ ප‍්‍රකාශ ඔවුන්ගේ දැනුමට තරම් නොවන ප‍්‍රකාශයි. මෙම ඇත්ත විරෝධය ආණ්ඩුව තේරුම්ගත යුතුයි. මේ ජනතාවගෙන් නැගෙන විරෝධය පක්‍ෂයක් විදියට අපි නියෝජනය කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ උද්ඝෝෂණයක් වෙනකොට අතැම් රෝගීන් එයට විරෝධය පළ කරනවා. නමුත් වැට් බදුවලට විරෝධය පළ කරලා ව්‍යාපාරිකයෝ කඩ වහනකොට ජනතාව ඒකට විරුද්ධ වුණේ නැහැ. මොකද මේ වැට් බදු සියලූ දෙනාටම බරක් වෙලා. ආණ්ඩුව කියනවා මේක තාවකාලිකයි කියලා. ආණ්ඩුවේ ‘අද නොවෙයි හෙට සහන’ කවදා වෙනකම් ජනතාව බලාගෙන ඉන්නද? ඇත්ත කතාව ආණ්ඩුව විශාල ආර්ථික අර්බුදයක ඉන්නවා කියන එකයි.

ආණ්ඩුව අද වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදෙස් බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා. අගෝස්තු වෙනකොට තමන්ගේ ණය වාරික ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි අර්බුදයක මේ ආණ්ඩුව ඉන්නවා. ඒවා හොයාගන්න වෙන්නේ ජනතාවට ගහන බදුවලින්, විදේශ ණයවලින් හෝ විදේශ බැඳුම්කර මගින්. මේ ආණ්ඩුව ගන්න හැම ණයක්ම ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවටයි. මහින්ද රාජපක්‍ෂ පාලනයේ පව්වලට වගේම මේ ආණ්ඩුවේ පව් ගෙවන්න වෙලා තිබෙන්නේ අපේ රටේ ජනතාවටයි. 2015 මැයි මාසයේ විගණකාධිපති වාර්තාව එළිදැක්වුවා. එම වාර්තාවට අනුව මහින්ද රාජපක්‍ෂ පාලන කාලයට අදාළව 2013 වර්ෂයේ  ආදායම් බදු ගැනත් සඳහන් වෙලා තිබෙනවා. එයට අනුව රුපියල් බිලියන 232ක ආදායම් බදු ප‍්‍රමාණයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයකරගන්න බැරිවෙලා තිබෙනවා. ජනතාවගේ ලේ පරීක්‍ෂාවෙන්, මූත‍්‍රා පරීක්‍ෂාවෙන්, රී-ලෝඞ් එකෙන් බදු අයකරගන්නා ආණ්ඩුවට ලැබිය යුතු ආදායම් බදු ප‍්‍රමාණය අයකරගන්න බැරිවෙලා තිබෙන්නේ ඇයි? මේවා ගැන තමයි ආණ්ඩුව සෙවිය යුත්තේ.

රාජපක්‍ෂ පාලන සමය විශාල ව්‍යාපෘති මගින් අපේ රටට විශාල මුදල් ප‍්‍රමාණයක් අහිමි කළා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය ආයතනවලට තමන්ගේ ඥාතීන් පුරවලා මුදල් නාස්ති කරනවා. එවැනි පාඩු වළක්වා ගන්න තමයි විගණන සේවා කොමිසමත් විගණකාධිපතිවරයෙක් රටකට අවශ්‍ය වෙන්නේ. විගණකාධිපතිවරයා සිදු කරන්නේ රටටත් මහා භාණ්ඩාගාරයටත් සිදුවන පාඩුව වැළැක්වීමයි. මේ නාස්තිය දුෂණය වළක්වනවාට ආණ්ඩුව අකමැති ඇයි?

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *