රනිල්ගේ ආණ්ඩුවට ආධාර නොදෙන බව අයි එම් එෆ් දන්වා ඇතැයි කිරිඇල්ල කීවේ බොරුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් නොවන බවත්, එයට ආධාර නොදෙන බවත්, තමන් ආධාර දෙන්නේ අලුත් ආණ්ඩුවකට පමණක් බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට දන්වා  ඇති බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට කිසිදු පදනමක් නැති බවත්, එබඳු කිසිදු ලිපියක් හෝ ප්‍රකාශයක් නැති බවත්, මුදල් අමාත්‍යංශයේ සහ මහ  බැංකුවේ ආරංචි මාර්ග කියයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා කීවේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන කිසිදු ආණ්ඩුවක් අලුත් ආණ්ඩුවක් නොවන බවත්, එබඳු ආණ්ඩුවකට තමන් ආධාර නොකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලිපියක් මගින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව යි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යොදාගත් සාකච්ඡා දිගට ම සිදුවන බවත්, එම කිසිවකට කිසිදු කොන්දේසි පැනවීමක් සිදුකොට නැති බවත් ය.

කෙසේ වෙතත්, එම සංවිධානයෙන් මුල්‍යමය ආධාර ලබාගත හැක්කේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් පසුව පමණක් බව එම ආරංචි මාර්ග කියයි.

රටවල් වල ආණ්ඩු ගැන තීරණ ගැනීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යයක් ද නොවේ. රටවල් 190 ක් සාමාජිකත්වය දරන මෙම සංවිධානය  විවිධ වර්ගයේ ආණුඩු ඇති තම සාමාජික රටවල් සමග සම්බන්ධතා පවත්වයි. එම රටවල තිබිය යුතු ආණ්ඩු ගැන කොන්දේසි පැනවීමක් මුල්‍ය අරමුදල නොකරයි.

අලුත් ආණ්ඩුවකට මිස ආධාර නොකරන බව මුල්‍ය අරමුදල කියා ඇතැයි කියන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම මුලික තොරතුරු පවා නොදන්නා බව පෙනී යන්නේ යයි මුදල් අමාත්‍යංශයේ අපේ ආරංචි මාර්ග කියයි.

ඇත්ත තත්ත්වය නම් මෙය අලුත් ආණ්ඩුවක් නොවන බව කියමින් මෙයට ආධාර දීමෙන් ජාත්‍යන්තර සංවිධාන වැළක්වීමේ අසාර්ථක උත්සාහයක සමගි ජන බලවේගය යෙදී සිටීම බවත්, කිරිඇල්ල මහතාගේ ප්‍රකාශය ද එම උත්සාහයේ කොටසක් බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *