සෝමවංශ අමරසිංහගේ මළගම හා ලාංකීය ස්ටාලින්වාදය – අජිත් පැරකුම් ජයසිංහ

imagesසෝමවංශ අමරසිංහගේ මළගෙදර, බණ ගෙදර ජවිපෙ, පෙසප, ජානිපෙ ආදී පක්ෂ අතර මනුස්සකම ගැන සඳහන් වෙන කතා බහක් අවදි කරලා තිබෙනවා දැක්කා.

මම මගේ ජීවිත කාලය ඇතුළෙ ජවිපෙත්, හිරු කණ්ඩායමෙත් සම්පූර්ණ සාමාජිකයකු ලෙස වැඩ කර ඇත්තෙමි. සාමාජිකයකු නො වීත්, කලින් කලට නව සමසමාජ පක්ෂය, පෙසප සහ තවත් කණ්ඩායම් සමග විවිධාකාරවලින් වැඩ කර ඇත.

මූලිකව මම නම් කියන්නේ මේ වාමාංශික දේශපාලනයත්, සාමාන්‍ය මිනිස්කමත් යනු දෙකක් මිසක් එකක් නො වන බවයි. වාමාංශික සංස්කෘතික අනන්‍යතාව නිර්මානය වන්නේ ම පොදු මිනිස්කම මරා දැමීම තුළයි. එය සිදු වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට පෙර මමඋදාහරණ ලෙස සිද්ධි කීපයක් දක්වමි.

1. කවුරුත් දන්නා නන්දන මාරසිංහ ඝාතනය
2. ජවිපෙ සන්නද්ධ අංශයේ සටන්කරුවකුව සිටිමින් විජය කුමාරතුංග ඝාතනය ඇතුළු ජවිපෙ දේශපාලන ඝාතන රැසක තුවක්කුකරු පමණක් වූ, අත්අඩංගුවේ සිටියදී රජය විසින් මරා දමන ලද ලයනල් රණසිංහ ප්‍රේමදාසගේ කුලී මිනීමරුවකු යයි ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා පසු කලෙක පැවසීම
3. ජවිපෙ හා පසුකාලීනව පෙසප බවට පත් වූ පිරිස අතර ඇති වූ ගැටුමෙහිදී ටිල්වින් සිල්වා සමග සාකච්ඡා කරන්නට පැමිණි පිරිසට බත් කා යන්නැයි ටිල්වින් කළ ආරාධනය මත ඔවුන් බත් කමින් සිටියදී එතැනට පැමිණි සෝමවංශ අමරසිංහ “පක්ෂයට ද්‍රෝහී වුණ අයටත් මේ පක්ෂය කන්නට දෙනවාද?” කියා ඇසීම (මූලාශ්‍රය ඉන්ද්‍රානන්ද සිල්වා, ලංකාදීප 2016-06-26)
4. 1971 කැරැල්ල සම්බන්ධ ලේඛන එක්රැස් කර ජවිපෙන් 1982දී බිඳී ගිය උදේනි සමන් කුමාර විසින් සංස්කරණය කරන ලද ‘71 මහ නඩුව, විජේවීරගේ හෘදය සාක්‍ෂිය’ නම් පොත නියමුවා ප්‍රකාශනයක් ලෙස පළ කළ ජවිපෙ එහි සංස්කාරකවරයාට අඩු තරමේ පොතේ පිටපතක්වත් නො දීම හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සංස්කාරකවරයාට ආරංචි වන ලෙස එය ඔහුට අයත් දෙයක් නොව පක්ෂයේ දේපලක් ය යන අදහස දෙන ප්‍රකාශයක් කිරීම.

තවත් මෙවැනි සිදුවීම් ඕනෑ තරම් පැවසිය හැකි ය. එහෙත්, මේ සිදුවීම් හතර පමණක් මෙම වාම සංස්කෘතිය තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය.

එය මෙසේ වචනගත කළ හැකි ය. මනුෂ්‍යත්වය හිමි පක්ෂ සාමාජිකයාට පමණ ය. ඒ එම පුද්ගලයා පක්ෂ සාමාජිකත්වය දරණ තාක් කල් පමණි. යම් කිසිවෙක් පක්ෂ සාමාජිකත්වය අත් හළේ ද, විකල්ප මතවාදයක් දැරුවේ ද, එතැන් සිට එම පුද්ගලයා කිසි දිනෙක සමාව නො දිය යුතු, අනිවාර්යයෙන් ම සුද්ද කළ යුතු ද්‍රෝහියෙකි. (සුද්ද කරන දිනය තීරණය වන්නේ පක්ෂ බලය මත ය.)

මේ අතරවාරයේ පක්ෂයට සම්බන්ධ නොවී සිටින ජනතාව ලෙස හැඳින්වෙන පිරිස සම්බන්ධයෙන් මේ විප්ලවවාදී පක්ෂවල ආකල්පය විසුළු සහගත ය. ඔවුන් ධනපතියන් ලෙස හඳුන්වන අය හෝ කිසිදාක පක්ෂ ක්‍රියාධරයකු නො වන අය හෝ සම්බන්ධයෙන් මෙම පක්ෂවල ඇත්තේ ව්‍යාජ ප්‍රේමනීය ආකල්පයකි. ඔවුන් කිසි කලෙක තමන්ගෙන් ඈත් වූ වාමාංශිකයන් මෙන් ස්ථාවර සතුරන් හෝ ද්‍රෝහීන් වන්නේ නැත.

දැන් මෙම උදාහරණ ආදියෙහිදී වැඩිපුර සඳහන් වන්නේ ජවිපෙ ගැන මුත්, මෙම තත්වය ජවිපෙට පමණක් සීමා වන්නක් නො වේ. ජාතික ප්‍රශ්නය මත ජවිපෙන් බිඳී ගිය හිරු කණ්ඩායම සමග මෙන් ම, පෙසප ජනරළ පුවත්පත සමග පමණක් නොව, නවසමසමාජ පක්ෂයේ සිට වාමාංශිකයන් ක්‍රියාකාරී වන වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන දක්වා ම විහිද යන අත්දැකීම වන්නේ මේ සියල්ලන් ම ජවිපෙන් සංකේතවත් වන එකී වාමාංශික මහා සංස්කෘතියෙන් ගැලවීමට අසමත් වී ඇති බවයි.

මෙම තත්වය විසින් අවසානයේදී කරනු ලබන්නේ වාමාංශිකයන් යනු බලවේගයක් ලෙස ගත් කල සී සී කඩ විසිර ගිය, කිසිදු කලෙක එක්සත් නො විය හැකි, එකිනෙකා දෙස දැඩි ඊර්ෂ්‍යාවකින් හා  වෛරයකින් යුත් පක්ෂ, කල්ලි, කණ්ඩායම් හා පුද්ගල සමූහයක් බවට පත් කිරීමයි.

වෙන වෙන ම ක්‍රියාකාරිත්වයන් ලෙස සැලකූ විට, දේශපාලන, සිවිල් සමාජ, මාධ්‍ය, සංස්කෘතික හා කලා ක්ෂේත්‍රවල මෙම බලවේගය අතිශය සක්‍රිය ය. එසේම, බලවත් ය. එම ක්ෂේත්‍රවල සියලු අධිපති මතවාදයන් මෙම බලවේග විසින් හසුරුවනු ලැබේ. ඔවුන්ගේ ආසන්න තරගකරුවන් වන ජාතිවාදීන්ටවත් ඔවුන් සමග මතවාදීමය තලයේදී තරග කරන්නට බැරි ය. එහෙත්, මහජන තලයේදී මෙම බලවේගය පාර්ලිමේන්තු ආසන 10ක්වත් දිනා ගන්නට සමත් වන්නේ අසාමාන්‍ය තත්වයක් තුළ, ජාතිවාදය සමග සම්මුතියකට එළඹුණොත් පමණි.

මෙහි ඇති ගැටලුව වන්නේ සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන බලය නොමැතිව මෙම පිරිස්වලට කළ හැකි බලපෑම අවම වීමයි. අවසානයේදී ඔවුන්ගේ ශ්‍රමය වැය වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු සභාපතිකමින් ඉවත් කිරීම වැනි සරළ වැඩවලට ය.

සරළ උදාහරණයකින් දැක්වුවහොත්, බොහෝ පැතිවලින් ඉදිරිගාමී වාමාංශිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ඔහුගේ විශ්වවිද්‍යාල සගයකු වන බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ සන්සන්දනය කළ හැකි ය. බුද්ධිමය පැත්තෙන් ගතහොත් නිර්මාල් විශාල සමාජ ප්‍රාග්ධනයක හිමිකරුවෙකි. රංජිත් සෝමවංශ යනු බුද්ධිමය වශයෙන් කිසිදු කැපී පෙනෙන කාර්යභාරයක් කර ඇති අයකු නො වේ. දේශපාලනයට නො පැමිණියා නම් ඔහු බොහෝ විට උපාධිධාරී ගුරුවරයකු හෝ සංවර්ධන නිලධාරි වැනි රජයේ සේවකයකු වන්නට තිබිණි. ආචාර්ය උපාධියක් හිමි, හැමදාමත් වාමාංශික දේශපාලනයේ ඉහළ තැනක සිටි නිර්මාල් රංජිත් දේවසිරි ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩකට නැති අධ්‍යක්ෂකමක් කරද්දී රංජිත් සෝමවංශ බස්නාහිර පළාතේ ම අධ්‍යාපන ඇමතිකම කරයි. අපට සිදු වී තිබෙන්නේ ‘එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝ්න්ට් නෝ වයි?’ කියන්නට ද?

නැත. මෙය පැහැදිලි කර ගැනීම අතිශය දේශපාලනික ය. වාමාංශිකයන් බල දේශපාලනය තුළ දවසින් දවස හැකිළී යමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී හා සමාජය වෙනස් කිරීමේ කාර්යයේදී නො වැදගත් ප්‍රාණීන් පිරිසක් බවට පත් වෙමින් පුස්සන් බලවත් වන්නේ හෙවත් ගල් බොරළු යට යමින් ගොමරිති මතු වන්නේ පැහැදිලි දේශපාලනික ප්‍රශ්නයක් නිසා ය. ඒ දේශපාලනික ප්‍රශ්නය සමග පොරබැදීම වනාහි කෑල්ලෙන් කෑල්ල ගියත් අත නො හැර කළ යුතු අරගලයකි.

මෙය වනාහි මාක්ස්වාදී පෙරටුගාමිත්වයටත් වඩා ස්ටාලින්වාදයයි. මේ දෙකේ වෙනස තේරුම් ගත යුතු ය. මාක්ස්වාදී පෙරටුගාමිත්වය තුළ පක්ෂය නිර්මානය වන්නේ වඩා බලවත් මාක්ස්වාදීන් විසින් අර්ථකථනය කරගන්නා පරිදි විප්ලවය වෙනුවෙන් ඇපකැප වූ වඩා ප්‍රබුද්ධ පිරිස වෙතිනි. විප්ලවය විෂයෙහි වැදගත් වන්නේ මෙම බලවේගය වන අතර සෙසු ජනතාව වනාහි ඒ වෙනුවෙන් මෙහෙයවා ගත යුතු අත් වෙති. අත් යන යෙදුම වැදගත් ය. මන්ද, එහි මොළ නැත. මොළ ඇත්තේ පක්ෂයෙහි ය. ලෙනින්වාදය, ස්ටාලින්වාදය මෙන් ම, ට්‍රොට්ස්කිවාදය ද මූලික වශයෙන් මෙම ආස්ථානයෙන් වෙනස් වන්නේ නැත. මේ තුන ම එහිදී එක සේ ඒකාධිපතිවාදී ය. කෘර ය. ස්ටාලින්වාදය යනු කෘරත්වයේ සීමාවන් අකා මකා දැමීමයි.

ලංකාවේ වාමාංශික සංස්කෘතියේ ගැටලුව ඇත්තේ ස්ටාලින්වාදී කෘරත්වය හා පොදු මිනිස් දුබලතා වන ඊර්ෂ්‍යාව, හීනමානය ආදී කාරණාවලයි. පෙරටුගාමී සංකල්පය යනු ප්‍රජාතන්ත්‍රවාදයත් සමග සංවාදයක පවත්වාගෙන යා හැකි සංකල්පයකි. එහෙත් ස්ටාලින්වාදී කෘරත්වය යනු එකහෙළා ප්‍රතික්ෂේප කිරීම මානව සංහතියේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සමා විරහිතව කළ යුතුව තිබෙන කාර්යයකි.

ස්ලැවොජ් සිසැක් ස්ටාලින්වාදය දකින්නේ නාසිවාදයටත් වඩා භයානක දෙයක් ලෙසයි. “ස්ටාලින්වාදය නාසිවාදයටත් වඩා දාර්ශනික ගැටළු ජනනය කරවන්නක්. උදාහරණයක් වශයෙන් ස්ටාලින්වාදීන්ට හා නාසිවාදීන්ට ගොදුරුවන්නන් අතර පැහැදිලි මූලික වෙනසක් සංසිද්ධිවාදී එළඹුමකදි [phenomenological approach] තියෙනවා. නාසිවාදය තුළ ඔබ යුදෙව්වකු නම් ඔබව සරලවම ඝාතනය කර දමනවා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් ඔප්පු කරන්න නැහැ. ඔබ සාපරාධී වන්නේ ඔබ නිසයි-ඔබ යුදෙව්වකු නිසයි. ඒ නිසා ඔබව ඝාතනය කරනවා. එච්චරයි. ස්ටාලින්වාදය තුළ ඇත්ත වශයෙන්ම බොහෝ ගොදුරුවන්නන්ට මුහුණ දෙන්න වන්නේ ‍‍ව්‍යාජ චෝදනාවලටයි. ඔවුන්ගෙන් බහුතරය දේශද්‍රෝහීන් නොවෙයි. කොහොම වුනත් සිත්ගන්නා ගුණාංගයක් තියෙනවා-ඔවුන්ව වධ වේදනාවලට හෝ බ්ලැක්මේල් කර දේශද්‍රෝහීන් ලෙස පාපොච්චාරණය කරවා ගන්නවා. (ස්ටාලින්වාදය නාසිවාදයට වඩා දුෂ්ට වන්නේ ඇයි? -ස්ලාවොජ් සිසැක්, පරිවර්තනය: ඩෝසන් ප්‍රීති, බූන්දි වෙබ් අඩවිය)

W3Lanka

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *