සියලු පක්ෂවල ජාතික සභාවකින් තීරණ ගත යුතුයි – අගමැති රනිල් වික්‍රමසිංහ

වත්මන් ගැටලුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සියලු පක්ෂවල සහභාගීත්වයෙන් දේශපාලන මණ්ඩලයක් හෝ ජාතික සභාවක් හෝ පිහිටුවීම අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. එවිට සියලු පක්ෂ එකඟ වන නිශ්චිත කාල රාමුවක් තුළ කෙටි කාලීන , මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන වැඩ සටහන් ක්‍රියාවට නැගිය හැකි යයි ඒ මහතා කීය.

අද සවස ජාතිය අමතමින් අගමැතිතුමා තම අදහස් යෝජනා කළේ මේ ආකාරයෙනි.

“මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *