අර්බුදය මාසයකට වඩා දිග් ගැස්සුවේ සජිත් – සමාජ ක්‍රියාකාරීහු චෝදනා කරති

අර්බුදය විසඳීමට කිසිදු වගකීමක් නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගට ක්‍රියාකිරීම නිසා එය වඩා යහපත් ආකාරයෙන් විසඳා ගැනීමට තිබුණු අවස්ථා අහිමි වූ බවත්, අර්බුදය මාසයක් පමණ කාලයක් තිස්සේ දිග් ගැසීමට මෙන් ම රට වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වීමට ද එය ම හේතු වූ බවත්, විපක්ෂයේ සහ සිවිල් සමාජයේ ක්‍රියාකාරීහු චෝදනා කරති.

වරෙක තමන්ට විපක්ෂයේ සිටින්නට මිස ආණ්ඩු හදන්නට ජන වරමක් නැති බව කියමින් ද, තවත් වරෙක රාජපක්ෂ පාලනය සමග හවුල්ව සිටි කිසිවකු සමග ආණ්ඩු හැදීමට හවුල් නොවන බව කියමින් ද , පිරිසිදු ජන වරමකින් මිස බලය නොගන්නා බව කියමින් ද සජිත් ප්‍රේමදාස මහතා මෙම අවස්ථා සියල්ල මග හැරියේ ය.

සර්ව පාක්ෂික රජයක් සඳහා කළ ඉල්ලීම මගහැරිය පසුව අගමැති ධුරය භාරගන්නා ලෙස ප්‍රේමදාස මහතාට කළ ඉල්ලීම ද අවසන් මොහොත දක්වා ඔහු ප්‍රතික්ෂේප කළේය. කොන්දේසි යටතේ එය භාර ගැනීමට සුදානම් බව ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට ජනාධිපති තීරණය කිරීමෙන් පසුව ය.

සජිත් ප්‍රේමදාස මහතාගෙන් මුල් අවස්ථාවේ යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නම් අර්බුදය දිග් ගැසෙන්නට ඉඩ නොදී සති කිහිපයකට පෙර වඩා යහපත් විසඳුමකට එළඹීමට ඉඩ තිබු බව සමාජ ක්‍රියාකාරීහු කියති.

මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 4 දාත් මැයි 12 දාත් අතර කාලයේ තමන් වහන්සේ විසි වතාවකට වැඩි වාර ගණනක් සජිත් ප්‍රේමදාස මහතා හමු වී සාකච්ඡා කළත්, යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පුජ්‍ය ඕමල්පේ ශෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *