ගෝටාගෝගම විනාශකිරීම ; මහින්දට බැරි වූ දේ ජවිපෙ සහ පෙරටුගාමීහු කර දෙති

නිර්පාක්ෂික සවෙච්ඡා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කොට විශාල මහජන සහයක් සහිතව පවත්වාගෙන ගිය ගෝටාගෝගම මේ වනවිට එහි ඇතුළු වී බලය තහවුරු කරගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය විසින් විනාශ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙම පක්ෂ විසින් අරගලයේ මුල් ක්‍රියාකාරීන්ට බලපෑම් කොට පලවා හරිමින් සිටින බව සහ විශාල පිරිසක් සටනින් ඉවත්වෙමින් සිටින බවත් වාර්තා වෙයි.

ගෝටාගෝගම මේ වනවිට දේශපාලනික වශයෙන් විනාශ කොට හමාර බවත්, එහි නාම පුවරුව සහ කුඩාරම් ඉහත කී පක්ෂ සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අතට පත්ව ඇති බවත්, එයට මුල සිට සහභාගී වූ ක්‍රියාකාරීහු ප්‍රකාශ කරති.

පසුගියදා මෙය ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එහි ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පහරදුන් පිරිස මෙහෙයවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරීන් බව ද හඳුනාගෙන ඇත.

ගෝටාගෝගම සටන්පාටයේ හා අරගලයේ නිර්මාතෘ වරයකු ලෙස සැලකෙන පැතුම් කර්නර් මහතා අන්තර් ජාලයට එක කර ඇති වීඩියෝවක් මගින් කියන්නේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසයක් ඇති කණ්ඩායම් ගෝටා ගෝ ගමට ද ප්‍රචණ්ඩත්වය රැගෙන විත් ඇති බව සහ එයින් අරගලයට විශාල හානියක් සිදුව ඇති බව යි.

වෙනත් පිරිස් විවිධ වෙනත් සටන් පාට අරගලයට රැගෙන විත ඇති බවත්, එයින් අරගලයේ මුල් අරමුණු දුර්වල වී ඇති බවත්, පැතුම් කර්නර් මහතා කියයි.

විශාල පිරිසක් අරගලය හැර යමින් සිටින බව ද එයට විවිධ හේතු ඇති බව ද ඒ මහතා හෙළිදරව් කරයි.

බහුතර මහජන සහය දිනාගත් නිර්පාක්ෂික අරගලයක් ලෙස පැවති ගෝටාගෝගමට දේශපාලන නායකත්වයක් දිය යුතු යැයි කියමින් එයට මැදිහත් වූ කණ්ඩායම් නිසා අරගලය විනාශ වූ බව අපගේ නිරීක්ෂකයින් කියන කතාව යි . මෙනිසා අරගලය නැවත වෙනත් ආකාරයකින් ආරම්භ කළ යුතු ව ඇති බව ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *