ඇමති ධුර භාර ගන්නේ නැහැ ; ජනතා ප්‍රශ්න විසඳන්න සහය දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර නොගන්නා බවත්, එසේ වුව ද ජනතා ප්‍රශ්න විසඳීමට සහය දෙන බවත්, එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව ජනතාවට දැඩිව බලපා ඇති ආහාර මිල, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර, ඖෂධ සම්බන්ධ ගැටලු විසඳීමට අගමැතිවරයා හා ඇමති මණ්ඩලය කටයුතු කරනවා නම් ඊට අදාළව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවන්ට සහය ලබාදෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආරාධනා ලැබී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමේ ක්‍රමවේදය සර්වපාක්‍ෂික ආණ්ඩුවක ආකාරයෙන් සිදුව නොමැති නිසා රජයේ කොටස්කරුවන් නොවීමට තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රජය සර්ව පාක්‍ෂික ආණ්ඩුවකින් බැහැරව යනවා නම් එයට සහය දිය නොහැකි බව කී සිරිසේන මහතා සැමවිටම ඉන්නේ පොදු ජනතාව සමඟ සිටින බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව විපක්‍ෂයේ සිට කටයුතු කරන බවත්, විපක්‍ෂ නායකධූරය සම්බන්ධයෙන් ඉදිරි තත්වය අනුව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, පක්‍ෂ මහලේකම්, දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *