කරුගේ ගමන වළකා රනිල්ට පාර කපා දුන්නේ සජිත් !

 

අගමැති තනතුර සඳහා පාර්ලිමේන්තුවට පිටතින් සිටි කරු ජයසුරිය මහතා ගෙන ඒමට පුජ්‍ය ඕමල්පේ ශෝභිත හිමියන් ඇතුළු පුජ්‍ය පක්ෂයේ පිරිසක් දැරූ උත්සාහය ව්‍යර්ථ කොට, අගමැති ධුරය තමන් ද භාර නොගනිමින් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව සලසා දුන්නේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කරු ජයසුරිය මහතා අගමැති කිරීමට උත්සහ දැරූ කණ්ඩායමේ සැලසුම වුයේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව තුලින් කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පත් කර ගැනීම යි. ඒ සඳහා මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කොට තිබු බව කියති.

කෙසේ වෙතත්, මයන්ත දිසානායක මහතාට ඉල්ලා අස් නොවන ලෙස මෙන් ම මේ දිනවල කැනඩාවේ සංචාරයක යෙදී සිටින ඒ මහතාට වහා  ම මෙරටට නොපැමිණෙන ලෙසත් උපදෙස් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් බව වාර්තා වෙයි.

එමෙන් ම, කරු ජයසුරිය මහතාට පාර්ලිමේන්තුවේ සහයෝගය ඇති බව පෙන්වීමට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලබා ගැනීමේ උත්සාහය ද අසාර්ථක කිරීමට සජබ නායකත්වය ක්‍රියා කළ බව කියති. එබැවින් කරු ජුයසුරිය මහතා අගමැති කිරීමේ ඉල්ලීම පාර්ලිමේන්තුවට පිටතින් සිටින ආගමික හා ප්‍රභූ පිරිසක ගේ ඉල්ලීමක් පමණක් බවට පත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

එම තත්ත්වය තුළ කරු ජයසුරිය මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයේ සහය ඇතැයි යන්න කිසියම් පිරිසකගේ විශ්වාසයක් පමණක් බවට පත්ව ඇති අතර එය තහවුරු කිරීමේ අවස්ථාවක් උදා වී නැත.

එමෙන් ම තවමත් ජයසුරිය මහතාට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි වීම නිසා ඒ වෙනුවෙන් කල් මැරීම ද අර්බුදය උත්සන්න වීමට ඉඩ දීමක් බවට පත්ව තිබිණි.

එලෙස දින ගණනාවක් අතීරණයෙන් ගතවීම නිසා අගමැති ධුරයට පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීමට හේතුව යම් හෙයකින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පැමිණ කරු ජයසුරිය මහතා අගමැති තනතුරට පත් වුවහොත් එම පක්ෂයට විපක්ෂ නායක ධුරය අහිමි වීම බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *