ජනපති මතය සහ පොදුජන මතය අතර පරතරය – අනුර සූරියබණ්ඩාර 

 

රට පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයකය. රාජ්‍ය පරිපාලනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇතැයි කියන්නට පුළුවන. රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඇත්තේ සතුටුදායක තත්ත්වයක් නොවේ.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවට බලපෑ හේතුව වන්නේ ද  පවතින අර්බුදකාරී තත්ත්වය ම ය.

ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කතාවේ මූලික හරය වන්නේ; 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන්නේය. අලුතින් පත්වන අගමැතිවරයා ට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට රැගෙන යාමට අවස්ථාව සලසන්නේය. පත්වන රජය විසින් රට ස්ථාවර කිරීමෙන් පසු සියලු දෙනා සමඟ සාකච්චා කොට  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ ලබා දෙන්නේය ; යන කරුණු තුනය.

ඉදිරි සතිය තුළ නව ආණ්ඩුවක් සහ ඇමැති මණ්ඩලයක් පත් කරන්නට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය. එම කතාවෙහි යටි පෙළින් ප්‍රකාශ වන්නේ ,  ඉල්ලා අස්වන්නට හෝ ධූරය හැර යන්නට ජනාධිපතිවරයා ගේ සූදානමක් නොමැති බවය.

මේ වතාවේ ජනාධිපතිවරයාට ජාතිය අමතන්නට සිදුවූ පරිසරය නිර්මාණය කෙරුණේ ගෝඨා ගෝ හෝම් අරගලය හේතුවෙනි. විශේෂයෙන්ම ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය හේතුවෙනි.ගෝඨා ගෝ ගම ප්‍රධාන සටන් පාඨය ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් විය යුතුය යන්න වුව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාවලිය තුළ ජනාධිපති බලතල අඩු කිරීමක් මිස ජනාධිපති ඉක්මනින් ඉවත් වීමක් පිළිබඳ ඉඟියක් නැත. ඒ වෙනුවට ඇත්තේ, රට ස්ථාවර වීමෙන් පසුව සියලු දෙනා සමඟ සාකච්ඡා කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවාය යන, කොන්දේසි සහිත සහ කල් ගතවන  පොරොන්දුවය.

ගෝඨා ගෝ ගම ප්‍රධාන සටන් පාඨය ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් විය යුතුය යන්න වුව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාවලිය තුළ ජනාධිපති බලතල අඩු කිරීමක් මිස ජනාධිපති ඉක්මනින් ඉවත් වීමක් පිළිබඳ ඉඟියක් නැත. ඒ වෙනුවට ඇත්තේ, රට ස්ථාවර වීමෙන් පසුව සියලු දෙනා සමඟ සාකච්ඡා කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවාය යන, කොන්දේසි සහිත සහ කල් ගතවන  පොරොන්දුවය.

ජනාධිපතිවරයා මෙතෙක් කටයුතු කළ ආකාරය අනුව ඔහුගේ පොරොන්දු විශ්වාස කළ හැකි පසුබිමක් ජනතාවට තිබේ ද යනු ද ගැටලුවකි. ආසන්නතම සිද්ධිය වන ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් ගත් කල එහි මූලික වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය හැකි නොවේ. රටේ ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ඔහු ඍජුවම ඊට වගකිව යුතුය. වෙනත් රටකනම් ආරක්ෂක ඇමැති සහ ජනාධිපති  එහි වගකීම බාර ගෙන මේවන විටත් ඉල්ලා අස්වී හමාරය. ගෝල්ෆේස් ප්‍රහාරය හෙළාදකින බව ජනාධිපතිවරයා පවසන නමුත් හෙළාදැකීමෙන් පමණක් ප්‍රශ්නය නිරාකරණය නොවේ. ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත යනු ජනාධිපතිවරයා ගේ මතය වන නමුත් එම පරීක්ෂණ සිදුවන ආකාරය විශ්වසනීයත්වයෙන් යුතු නැත.

මෙරට පොලිස් පරීක්ෂණ සිදුවන ආකාරය ගැනද ජනතාව⁣ට වැටහීමක් තිබේ. ජනාධිපතිවරයා ගේ නිවෙස අසල සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදන, එතැන උද්ඝෝෂණ කළ පිරිස සම්බන්ධව පොලීසිය කටයුතු කළ ආකාරය, එහිදී බස් රථයට ගිනිතැබූ තැනැත්තා සොයා ගැනීමට පොලීසියට නොහැකි වීම වැනි දේ ඊට නිදර්ශන ය. ගෝල්ෆේස් ප්‍රහාරයට මුල් වූ තැනැත්තන් සහ ඊට අනුබල දුන් තැනැත්තන් පැහැදිලිව තිබියදී ඔවුන් අත්අඩංගුවට නොගැනීම බරපතළ ප්‍රශ්නයක් ව පවතී. ප්‍රහාරය වලකා නොගත් පොලිස්පතිවරයා තවමත් ධූරයේ සිටී. ප්‍රහාරය වලක්වා නොගත් ආරක්ෂක ලේකම්වරයා නැවත පත් කරමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කළ කරුණු අනුව  පෙනුණේ ඔහු ගාලු මුවදොර මැර ප්‍රහාරයට වඩා ඉන් පසුව සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධව  සැළකිලිමත් වන බවකි. සත්‍ය තත්ත්වය එය නම් එය හේතුව මඟහැර පලය සම්බන්ධව අවධානය යොමු කිරීමක් වනු ඇත. එවැනි හැසිරීමක් මගින් කිසි සේත් ම ආණ්ඩුව කෙරෙහි , නීතියේ ක්‍රියාත්මක වීම කෙරෙහි බිඳවැටී ඇති ජනතා විශ්වාසය නැවත⁣ ගොඩනැඟිය නො හැකිය.සිදුව ඇති ජීවිත හානිය සහ දේපළ හානිය විශාලය. එවැනි විනාශයක් හමුවේ වගකීම බාරගෙන වගකිව යුත්තන් ඉල්ලා අස්විය යුතුය. ජනතා විශ්වාසය ගොඩනැඟිය හැක්කේත් නොසන්සුන්තාව සමනය කළ හැක්කේත් එවැනි ක්‍රියාමාර්ග මගිනි.

ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කළ කරුණු අනුව  පෙනුණේ ඔහු ගාලු මුවදොර මැර ප්‍රහාරයට වඩා ඉන් පසුව සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධව  සැළකිලිමත් වන බවකි. සත්‍ය තත්ත්වය එය නම් එය හේතුව මඟහැර පලය සම්බන්ධව අවධානය යොමු කිරීමක් වනු ඇත. එවැනි හැසිරීමක් මගින් කිසි සේත් ම ආණ්ඩුව කෙරෙහි , නීතියේ ක්‍රියාත්මක වීම කෙරෙහි බිඳවැටී ඇති ජනතා විශ්වාසය නැවත⁣ ගොඩනැඟිය නො හැකිය.

ජනාධිපතිවරයා යනු මේ වන විට බරපතළ වැරදි රැසක් සිදුකර ඇති තැනැත්තෙකි. රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් තමා වරදක් කළ බව ඔහු මේ වන විටත් පිළිගෙන ඇත. 19 සංශෝධනය නැවත බලගන්වනවා යන්නෙහි අරුත 20 සංශෝධනය වැරදි සහගත බවය.20වන සංශෝධනය වෙනුවෙන් දැඩිව පෙනීසිටි තැනැත්තකු වශයෙන් ජනාධිපතිවරයා  වරදක් කර තිබේ. එම වරද සම්බන්ධයෙන් ඔහු වගකියන ආකාරයද පැහැදිලි නැත. රාජ්‍ය නායකයකුට වැරදි පිට වැරදි කරමින් තව දුරටත් බලයේ සිටින්නට හැකි රටක අනාගතය නොව වර්තමානය පවා අවිනිශ්චිතය. වර්තමානයේ පවතින ඉන්ධන හිගය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඩොලර් හිගය, උද්ධමනය යන සියල්ල ජනාධිපතිවරයා  හෝ ඔහු විසින් පත්කරනු ලැබූ තැනැත්තන්ගේ හෝ ක්‍රියාකලාපය නිසා ඇති වූ දේ වන බැවින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වගකිය යුතු සේම එම වැරදි රට කෙරෙහි බලපා ඇති ආකාරය අනුව ඔහු ධූරයෙන් ඉවත් විය යුතුය.

විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම ජනතාව මෙයට පෙර අසා ඇති ජනතාව රැවටීමට ලක්වූ කඩවුණු පොරොන්දුවකි. වත්මන් ජනාධිපතිවරයා යනු යහ පාලනය විසින් තටු කපා තිබූ ජනාධිපති ධූරය යළි ශක්තිමත් කළ තැනැත්තාය. ඊළඟ පත්වන රජය රට ස්ථාවර කළ පසුව , සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැනි කල් ගන්නාසුලු කොන්දේසි වලට යටත් කොට ජනාධිපතිවරයා දෙන විධායකය අහෝසි කිරීමේ පොරොන්දුව මෙරට ජනතාව කෙතරම් දුරට පිළිගනු ඇතිද පිළිගත හැකිද යන ගැටලුව ද පවතී. විධායකය සම්බන්ධයෙන් ජනතාව පිළිගන්නා විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයා අසමත් වන තුරු සහ ඒ සම්බන්ධයෙන් ජනතාව  සමඟ එකඟතාවක් ඇති කර නොගන්නා තුරු අගමැති, කැබිනට් සංශෝධන මගින් පමණක් පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි සිතන්නට පුළුවන්කමක් ද නැත. පවතින අර්බුදය සම්බන්ධව පාර්ලිමේන්තුව කවර තීරණ ගත්තා වුව ද  ජනතා අනුමැතිය ඊට නො ලැබෙන්නේ නම් ගැටලුව නිරාකරණය වනු ඇතැයි සිතිය නො හැකිය.

  අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *