ජූලි මාසය පෙර එකගතාවයක් නැතිනම් නව ව්‍යවස්ථාව කොට උඩ !

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම ඉවත්කර පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙන බවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා රටට දුන් ප්‍රතිඥාවට අනුව ජූලි මාසය අවසන්වීමට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකගතාවය ලබානොදෙන්නේ නම්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අතහැර, ඒ බව රටට ප්‍රකාශ කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් නොකිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මධ්‍යමකාරක සභාව ගෙන ඇති තීරණය මේ වනතුරු වෙනස් නොවීම මෙන්ම. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් නව ව්‍යවස්ථාව පිලිබඳව මාධ්‍යට කරන ඇතැම් නිෂේධනාත්මක ප්‍රකාශයන් අගමැතිවරයාගේ මේ තීරණයට බලපා ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රිලනිප මංත්‍රිවරු නව ව්‍යවස්ථාවට සහයෝගය නොදෙන බවට මේවන විටත් ප්‍රකාශකර තිබීම ද මේ තත්ත්වය ඇති වීමට හේතු වී ඇති බව කියැවේ. ලිංගික විපරියාසයට ලක්වූවන් මෙන්ම සමලිංගිකයින් වැනි සමාජයේ ආන්තීකරණයට ලක් වූ පිරිස්වල අයිතිවාසිකම් ආරක්ෂාකරදීමට නිර්දේශකර තිබීම වැනි කරුණු පදනම්කරගෙන ව්‍යවස්ථා සංශෝධනය බටහිර කුමන්ත්‍රණයක් බව අර්ථ දක්වමින් නව ව්‍යවස්ථාව කඩාකප්පල් කිරීමට ඇල්ලේ ගුණවංශ හා විමල් වීරවංශ ඇතුලු ජාතිවාදී කොටස් ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බලපෑම් කරන බව ද දැනගන්නට ඇත.
බුද්ධගමට හිමි ස්ථානය සහ ඒකීයභාවය වෙනස් නොකර ව්‍යවස්ථාව වෙනස් කිරීමට නිර්දේශ කිරීමත් සමග රටේ ආරක්ෂාවට විධායක ජනාධිපති තිබිය යුතු බවට වූ තර්කයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැන් ගොඩනගමින් සිටින බව ද වාර්තා වේ. චෝදනාවට ලක්වී ඇති මහ බැඅංකු අධිපතිවරයා ඉවත්කර ගැනීමට හැකිවූයේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසා බවට වූ මතයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ ගොඩනගමින් සිටින බව ද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහනක් කරයි.
නව ව්‍යවස්ථාව මගහැර යෑමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දරණ මේ උත්සහායට එරෙහිව රාජපක්ෂ ජාධිපතිවරයා ගෙදර යැවීමට පෙළගැසුනු සිවිල් හා පුරවැසි සංවිධාන දීප ව්‍යාප්ත උද්ඝොෂණයකට සුදානම් වෙමින් සිටින බව පුරවැසි සංවිධාන නියෝජිතයෙකු මේ පිළිබඳව යුක්තිය කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *