වමේ පක්ෂ ධනවාදයට කඩේ යන හැටි පෞද්ගලික විශ්වවිද්‍යාල සටන ඇසුරෙන් – අජිත් පැරකුම් ජයසිංහ

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයවීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව සිදු වන සටන ප්‍රගතිශීලී අරගලයක් නොවන්නේ කෙසේද යන්න මේ ලිපියෙහි තේමාව වී තිබේ. මෙහි සඳහන් වන කාරණා ලංකාවේ තවත් බොහෝ ජනප්‍රිය අරගලවලට අදාළ වේ.

‘සයිටම්’ නමින් හැඳින්වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගුණාගුණ ගැන හෝ සංවාදයක යෙදෙන්නට අපට වුවමනාවක් නැත. රාජ්‍ය විශ්වවිද්‍යාල ද ඉතා හොඳ මට්ටමක ඇතැයි අප පිළිගන්නේ නැත. ලංකාවේ වෛද්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පොදු ජනතා අත්දැකීම වන්නේ ඒවායින් බිහි කරන අය අතරින් විශාල පිරිසක් මිනිස්කම ඇති වෛද්‍යවරුන් නොව, පන්ති හිණිමගේ ඉහළ යෑම සඳහා මහජනතාවගේ ජීවිත පාවිච්චි කරන බහුතරයකගෙන් සමන්විත, ලාභ පසුපස හඹා යන, ආචාර ධර්මයක් නොදත් මුදලාලිලා පිරිසක් බවයි. ඒ නිසා රජයේ විශ්වවිද්‍යාල හොඳ ද යන්න පිළිබඳ ගැටලු තිබේ. ඒවායෙන් බිහි වන වෛද්‍යවරුන් ආකල්ප අතින් කෙසේ වෙතත් දැනුම හා කුසලතා පැත්තෙන් පවා කොතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න මතභේදාත්මකය.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අප මෙහි ඉදිරිපත් කරන ස්ථාවරය වන්නේ උසස් අධ්‍යාපනය ලිබරල් විය යුතු බවය. තමන් අකැමැති හැම දෙයටම නව ලිබරල් යන ලේබලය අලවන අයට කියන්නට ඇත්තේ අප කියන්නේ ඔවුන්ගේ කෝකටත් තෛලය ගැන නොවන බවයි. නිදහස් අධ්‍යාපනය නැති කළ යුතු බවක් අප කියන්නේ නැත. අප කියන්නේ රජය විසින් ලබා දෙන අධ්‍යාපනය එකම උසස් අධ්‍යාපන ක්‍රමය නො විය යුතු බවය.

යම් පවුලක් හෝ පුද්ගලයකු අනාගත ආයෝජනයක් ලෙස උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නට සූදානම් වීම වරදක් නොවේ. එයට අවස්ථාව තිබිය යුතුය. එසේම එබඳු හැකියාවක් නැති දිළින්දන් හා දක්ෂයන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයද පැවතිය යුතුය. කුමන අන්දමින් සිදු වූවත් උසස් අධ්‍යාපනය වනාහි සමාජ මෙන්ම පෞද්ගලික ආයෝජනයක්ද වේ.

අධ්‍යාපනය රජය විසින් රජයට අවශ්‍ය පරිදි පමණක් ලබා දිය යුතුය යන සංකල්පය සමාජවාදී වන්නේ නැත. එය ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මයෙන් පල නෙළාගන්නා ප්‍රධාන බලවේගයක් වන මධ්‍යම පන්තිකයන්ගේ පටු අදහසකි.

අධ්‍යාපනය පිළිබඳ වඩා සමාජවාදී අදහස වන්නේ එය ලාභ නො ලබන, ස්වාධීන ආයතන විසින් මෙහෙයවිය යුතු බවයි. එවැනි ආයතනවලට ද නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නට හැකියාවක් නැත. අධ්‍යාපනය සඳහා යන වියදම් දරාගත හැකි පරිදි සමාජය ආර්ථිකව ශක්තිමත් කළ යුතුය. එය කරන්නට බැරි වන්නට ලංකාවේ නම් ප්‍රධාන හේතුව ජනතාව සූරා කන රජයයි. වියදම් දරාගන්නට අපහසු සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ක්‍රමයක් ආරම්භ කිරීම අමාරු වැඩක් නොවේ.

මාක්ස්වාදී විග්‍ර‍හය අනුව, ලංකාවේ ධනේශ්වර රාජ්‍ය ක්‍ර‍මය යනු මහජන මුදල් බදු ලෙස අය කර, අනාගත පරම්පරා උගස් කර ණය ගෙන, ඒවා සෑහෙන්න නාස්ති කර, සුළු කොටසක් නිදහස් අධ්‍යාපනය වැනි මහජන සුබසාධන සේවාවන් වෙනුවෙන් යොදන පීඩක මෙවලමකි.

ලංකාවේ පවත්නා ධනේශ්වර ක්‍රමයේ ආධිපත්‍යය හොබවන්නේ ධනේශ්වර හා මධ්‍යම පන්ති වේ.

ලංකාවේ මධ්‍යම පන්තිය ඉතා බලවත් ය. සූරාකෑම ප්‍ර‍මාණාත්මකව වැඩියෙන් කරන්නේ මේ මධ්‍යම පන්තියයි. රජයේ සේවකයන් එහි ප්‍ර‍ධාන බලවේගයයි. ලංකාවේ පීඩිත ජනයාගේ ජීවිත කාලකන්නිකම නිර්මාණය කරන ප්‍රධාන බලවේගය වන්නේ දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ගෙන් සමන්විත මධ්‍යම පන්තික බලවේගයයි.

මේ රටේ පීඩිත ජනතාවගේ බදු මුදල්වලින් වැඩි ප්‍ර‍මාණයක් වැය වන්නේ මෙම පැළැන්තිය නඩත්තු කිරීමටයි. මහජන බදු මුදලින් වැටුප්, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වරප්‍ර‍සාද, තීරු බදු සහන ආදිය ලබන මෙම බලවේගය පීඩිත ජනතාවට සලසන සේවාවන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතල ගැටලු ජනතාවට තිබේ. ලංකාවේ මධ්‍යම පන්තිය පීඩිත පන්තීන්ට හා සමාජවාදයට එරෙහි පීඩක බලවේගයක් ලෙස හඳුනා ගත යුතුය. එසේ හඳුනා නොගන්නා අයට කළ හැකි සමාජ වෙනසක් නැත.

පවත්නා ධනේශ්වර රාජ්‍ය ක්‍ර‍මය මේ අන්දමින් ශක්තිමත් කරන තරමට මහජන සූරාකෑම තව තවත් වැඩි වේ. ආර්ථික ලිබරල්කරණය ප්‍ර‍ගතිශීලී වන්නේ මේ සන්දර්භය තුළයි. එමගින් ධනපති පන්තිය ශක්තිමත් වන බව ඇත්තය. එහෙත් මධ්‍යම පන්තිය පරාජය නොකර පීඩිත පන්තිය ශක්තිමත් කරන්නටද බැරිය.

ලංකාවේ පීඩිත පන්තියට තමන්ට අනන්‍ය සමාජ ව්‍යාපාර තබා දෘෂ්ටිවාදයක් හෝ නැත. පවතින්නේ මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයයි. පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන සියලු සංවිධාන අඩු-වැඩි වශයෙන් මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් ඒවායි. ඒ සංවිධාන වැඩ කරන්නේ රාජ්‍යය තුළ මධ්‍යම පන්තික ආධිපත්‍යය ශක්තිමත් කිරීමටයි. ඔවුන් කම්කරු පන්තියට ගැලවීම ලෙස යෝජනා කරනු ලබන්නේද මධ්‍යම පන්තියට උසස්වීමයි.

මෙය සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටිවාදයකි. කම්කරුවා විමුක්තිය සලස්වාගත යුත්තේ කම්කරුවකු ලෙස ම මිස පන්තියක් ඉහළ නැගීමෙන් නො වේ.

ලංකාවේ ධනවාදය ආරක්ෂා කරන ප්‍ර‍ධානම බලවේගය රාජ්‍යය හා එහි ක්‍රියාකාරිත්වයන් එපරිද්දෙන් ම ආරක්ෂා කරන, ප්‍ර‍තිසංස්කරණවලට එරෙහි මධ්‍යම පන්තියයි. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ දැනට පවතින සමාජ ක්‍ර‍මය තුළ නිසාය. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ ලංකාවේ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් රාජ්‍ය මූලික ධනවාදය ආරක්ෂා කරන ප්‍ර‍ධානම බලවේග වේ. ලංකාවේ ධනපති බලවේග ඔවුන් තරම් මේ ක්‍රමය ආරක්ෂා කරන්නට ඇප කැප වී නැත. හේතුව පවත්නා ක්‍රමයේ වැඩි වාසි ලබන්නේ ධනපති පන්තියටත් වඩා නිෂ්පාදනයට දායක නොවන, රාජ්‍ය බදු ආදායම්වලින් යැපෙන මධ්‍යම පන්තිය වීමයි.

ඔවුන් රජය හා ඊනියා නිදහස් අධ්‍යාපනය වැනි ලාංකික ධනේශ්වර ක්‍රමයේ මෙවලම් වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින්නේ අන් කිසි හේතුවක් නිසා නොව, මේ සමාජ ආර්ථික ක්‍ර‍මයේ හිමිකරුවන් ඔවුන් නිසාය. ඔවුන්ට මේ ක්‍ර‍මය වෙනස් කරන්නට වුවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය බලය සියතට ගන්නට පමණි. ක්‍ර‍මය මෙහෙමම හොඳාය.

මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ග්‍රීසිය මේ ක්‍රමය නිසා අභාවයට ගිය රටකි. ප්‍රංශය වැනි රටවල දැන් තිබෙන උද්ඝෝෂණද මෙවැනිම ඒවාය. ඒවා ලංකාවේ වාමාංශිකයන්ට මාර ආස්වාදනීය වී තිබෙන්නේ ඇයිද යන්න දැන් පැහැදිලිය.

ලෝකය පුරාම ආන්තික මාක්ස්වාදී පක්ෂ හා කණ්ඩායම් තවමත් සිය චින්තනය පදනම් කරගන්නේ සෝවියට් මාදිලියේ රාජ්‍ය ධනවාදයන් මතය. සමාජවාදී රාජ්‍ය ධනවාදයන් සහිත ජාතික රාජ්‍ය සියල්ල මේ වන විට අසාර්ථක වී හමාරය. ඒ මාර්ගය ඔස්සේ පවතින්නට නම් උතුරු කොරියාවක් නිර්මාණය කර ගත යුතුය. චීනය, වියට්නාමය වැනි රටවල් පවා සිය ආර්ථිකයන් සෑහෙන දුරට ලිබරල් කර තිබේ.

‘ධනේශ්වර’ රාජ්‍ය ධනවාදයන් යනු ඉතා දූෂිත, අකාර්යක්ෂම, ක්‍රෑර ක්‍රමයකි. එවැනි රාජ්‍ය ධනවාදයන් ආරක්ෂා කරන්නට වාමාංශික පක්ෂ කටයුතු කරන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ දැනට පවත්නා ක්‍ර‍මයේ ආධිපත්‍යය හොබවන මධ්‍යම පන්තික සමාජ ස්ථරය මත නිසාය.

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-07-
 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *