සංහිඳියාව අතින් ආණ්ඩුව සාධනීය වැඩ කොටසක් කළත් ආර්ථික වර්ධනය අතින් දුර්වලයි – ජාතික මහජන පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් – මහාචාර්ය රෝහාන් ප‍්‍රනාන්දු

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ  65ක් පමණ තියනව. ඒකෙන් වෙන්නෙ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට අභියෝග කිරීමට සිටින ජනතාව විසිරි, කණ්ඩායම් රැුසකට ගොනුවී, ජනතාවගේ ශක්තිය දියවී යාම නේද? ඒ තත්ත්වයක් තුළ තවත් දේශපාල පක්‍ෂයක් පිහිටුවීමට කටයුතු කරන්නේ ඇයි?

එක එක හෙතූන්මත දේශපාලන පක්‍ෂ  ඕනතරම් බිහිවෙන්න පුළුවන්.  ආගමික පදනමින් බිහිවෙනව. කුල ග්‍රෝත‍්‍ර පදනමෙන් බිහිවෙනව. වෘත්තීය මට්ටමින්, කම්කරු පන්ති වගේ පන්ති මට්ටමෙන් බිහිවෙනව. මේ බොහොමයක් පටු ආකල්ප මත බිහිවෙන දේශපාලන පක්‍ෂ.

දේශපාලන පක්‍ෂයක් විදිහට මම දකින්නෙ සමස්ථ ජනතාවම නියෝජනය වන, ජනතාවගේ සිතුම් පැතුම් ඒක රාශිකරගෙන ඒවා ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් විදිහෙ හඬක් නගන්න පුළුවන් දේශපාලන පක්‍ෂයක් බිහිවුණොත්, ඒක තමයි ජාතික දේශපාලන පක්‍ෂයක් කියල කියන්නෙ. හතු පිපෙන්නාවගේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මතත් පක්‍ෂ බිහිවෙනව. සමහරවිට වෛරයටත් දේශපාලන පක්‍ෂ බිහිකරනව. එක පක්‍ෂයකින් කැඩිල ගියහම ඒ පක්‍ෂයෙන් පළිගන්න ජනතාව රැුස්කරගෙන දේශාපලන පක්‍ෂයක් හදනව. ඒ වගේ පක්‍ෂ ලියාපදිංචි කිරීමේදී පක්‍ෂයේ අරමුණ ගැන නොබැලීම වරදක්. ජාතික දේශපාලනයට අවතීරණ වෙන්න  ඕනෙ සමස්ථ ජනතාවගේම සිතුම් පැතුම් තේරුම් අරගෙන. සමස්ථ ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය වන පක්‍ෂයක් තමයි ජාතික දේශපාලන පක්‍ෂයක් කියල කියන්නෙ.

තැලෙන පොඩිවෙන ජනතාව දිහා බලලා, ඒ ජනතාවගේ ප‍්‍රශ්නවලට දියයුතු විසඳුම මොකක්ද කියන එක ගැන සොයලා බලලා තමයි අපි මේ පක්‍ෂය ගොඩනැගුවෙ. නමුත් පැහැදිලිවම කියන්නට  ඕනෙ මේ රටේ ජනතාව ඔවුන්ගේ අවස්ථාවාදි සංකල්ප නිසා පිල්වලට බෙදිල ඉන්නව. අපි එක එක පිල්වලට බෙදුනට අපි උපදින්නෙ එක විදිහට. අපේ සිතුම් පැතුම් එක විදිහයි. ජීවත් වෙන්නෙ එකවිදිහට. අවශ්‍යතාවයන් එක විදිහයි. පරමාර්ථය එකක්. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ජනතා අයිතිවාසිකම්  දිනාගත යුතුයි.

විවිධ ජන කොටස් අතර ඇති ගැටුම්කාරී ස්වභාවය නැතිකරන්න නම් මේ රටේ ජනතාව අතර සංහිඳියාවක් ඇති කරන්න  ඕනෙ. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළුම ජනවර්ගයන්ගේ අවශ්‍යතාවයන් එකයි. එහෙම නම් එකම ක‍්‍රමවේදයක් තුළ මේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරගන්න  ඕනෙ කියන එක අපි හිතාගන්න අවශ්‍යයි. මීට විරුද්ධව නැගෙන බලවේග පරාජය කළ හැක්කේ ජනතා සංහිඳියාවක් තුළින් පමණයි.  මේ පක්‍ෂය මගින් අපි ඇති කරන්න උත්සාහ කරන්නේ ජනතා සංහිඳියාවක්.

ජනතාව අතර සංහිඳියාව තේමා කරගන්නේ ඇයි? මේ සංකල්පයට වඩා අද අවශ්‍ය විදේශ ණය බරින් මිදිලා රට ආර්ථිකමය වශයෙන් ඔසවා තැබීමේ සංකල්පයක් නේද?

නෑ. පළමුව සියලූම ජනතාව සමාන අයිතිවාසිකම් තියන පුරවැසියන් ලෙස සිතා වැඩ කළ යුතුයි. මේක අවංකවම කතා කරපු පුද්ගලයා විජය කුමාරතුංග. ඊට කලිනුත් විවිධ පුද්ගලයන් මේ ගැන කතා කෙරුව. ඔවුන් කතාකෙරුවේ ජනප‍්‍රියත්වය, ඡුන්දපදනම වැනි කරුණු යටි හිතේ තබාගෙන අවස්ථාවාදීවයි. 1956 දි මේ සංකල්පය ඉස්මතු වුනා. නමුත් එදා යථාර්ථවාදි හරයක් ගැබ්වෙලා තිබුණෙ නෑ. නමුත් විජයට උවමනාව තිබුණ මේක යථාර්ථයක් බවට පත් කරන්න. ඒකෙ කෙළවරට ගමන් කරන්න. ඔහුට එය කරන්න ලැබුණෙ නෑ. ඔහුව ඝාතනය කෙරුව. විජයගේ සංකල්පයේ ඇති වටිනාකම නිසයි අපි ඒ සංකල්පය තෝර ගත්තෙ. විජයගේ සංකල්පය තුළ ගැබ්වෙච්ච යථාර්ථවාදී හරයක් තිබුණ. ඒ හරයට ගරුකිරීමක් වශයෙන් තමයි අපි ඒ චින්තනය ඉදිරියට ගෙනයාමට අදහස් කෙරුවෙ. අපේ පක්‍ෂය තුළින් බලාපොරොත්තු වෙන්නේ ජනතා සංහිඳියාවක් ඇති කරල, ඒ තුළින් සාමය සමගිය ඇති කරල, සංවර්ධනය සඳහා සමස්ථයේම සහභාගීත්වය ලබාගෙන ඉදිරියට යෑමයි.

විජය කුමාරතුංග නිර්මාණය කළ ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය විවිධ කාලවකවාණුවල, විවිධ පුද්ගලයන් විසින් විජයගේ දර්ශනයටත් පිටින් විවිධ උවමනාවන්ට පාවිච්චි කරන බව පෙනුණා. එම පක්‍ෂය තරම් කොටස් වලට කැඩුණු පක්‍ෂයක් නැති තරම්. මේ ආරම්භ කරන පක්‍ෂයත් එහි එක් අවස්ථාවක්ද?

විජය ඉස්සරවෙලාම හටියෙ ලංකා සමසමාජ පක්‍ෂයෙ. ඊට පස්සෙ ජනවේගය කණ්ඩායමත් සමග වැඩ කෙරුව. ඊට පස්සෙ විජය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සම්බන්ධවුනා. ඔහු කටාන අතුරුමැතිවරණයට ඉදිරිපත් වීමත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයෙක් බවට පත් වුනා. ඔහු ඒ තුළ ප‍්‍රගතිශීලි හඬක් ගෙනගියා. විජයගේ ප‍්‍රගතිශීලි හඬ ශ‍්‍රී ලංකා නිදහස්පක්‍ෂය තුළ ඒ වෙනකොට හිටිය ප‍්‍රතිගාමි බලවේගවලට දරාගන්න බැරි වුණා. ඔවුන් උපක‍්‍රමශීලිව තුන්දෙනෙක්ගෙ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කෙරුව. ඒ විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර හා වයි.පී. සිල්වා කියන තිදෙනගෙ. නමුත් මේ අය නිහඬව හිටියෙ නැහැ. විජයගෙ නිවසට රැුස්වෙලා නව හරයක් යටතේ අලූත් දේශපාලන පක්‍ෂයක් ගොඩනගනවා කියන පදනමේ තමයි ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය බිහිකෙරුවෙ. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටිය විශාල ප‍්‍රගතිශීලීන් පිරිසක් මෙයට එකතු වුනා. නමුත් ඒ අයත් විවිධ අවස්ථාවන්ලදි, විවිධ හේතුන්මත කැඩිල ගියා. නමුත් විජය සිය ජීවිතයේ අවසන් මොහොත දක්වා ඒ අදහසේ හිටිය. විජයගේ මරණයත් සමග ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයත් අභාවයට ගියා කිව්වොත් හරි. ඊට පසුව පක්‍ෂයේ බලය ගත් පිරිස විජයගේ අරමුණුවලට විරුද්ධ දේශපාලන පක්‍ෂ සමග සන්දාන ගත වෙලා ඔවුන් වෙනුවෙන් වැඩකළා. විජයගේ ප‍්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙමින් ජාතිවාදි පක්‍ෂ සමග මහජන පක්‍ෂය සන්ධානගත වුණා. විජයගේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන පිරිස විදිහට අපිට ඒක අනුමත කරන්න බැරි නිසා අපි එම කණ්ඩායමෙන් ඉවත් වුණා.

ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය නිවැරදි මාවතකට ගන්න බැරිවුණාද?

අපි උත්සාහ කළා. නමුත් බැරිවුණා. ඔවුන්  මුදල් වලට හා තනතුරුවලට, බලයට ජාතිවාදි බලවේගවලට ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය විකුණුවා කිව්වොත් හරි. අපි දැන ගත්තා ඔවුන්ට ඉදිරිගමනක් නෑ කියල.  ඒත් විජයගේ මතය සර්වකාලීනයි. එය ඉදිරියට ගෙනියන්න පුළුවන් දර්ශනයක්.

විජයගේ දර්ශනය මත බිහිවන නව දේශපාලන පක්‍ෂයේ නම මොකක්ද?

අපි ඇති කරපු පක්‍ෂය තමයි ජාතික මහජන පක්‍ෂය. ඒක විජය චින්තනය මත මේ රටේ සකලවිධ ජනතාව ඒක රාශිකරගෙන ඉදිරියට යනව. මෙම පක්‍ෂය වටා විශාල වශයෙන් ජනතාව ඒක රාශිවෙන බවක් පේනව. තවම අපි කිසිම මාධ්‍යයකට මේ ගැන ප‍්‍රකාශයක් කරල නෑ. මේ තමයි පළවෙනි සාකච්ඡුාව. එහෙත් අපි මේ වෙනකොට සෑහෙන ක‍්‍රියාකාරීන් පිරිසක්     රැුස්කරගෙන අවසන්.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට ජාතික මහජන පක්‍ෂ ආරම්භ කර නොතිබුණත්, එම පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දිනවීමට කැපවීමෙන් වැඩ කළ බව මම දන්නව. ඔබලාත් දායක වී බලයට ගෙනා පොදු අපේක්‍ෂකයා ජනතා බලාපොරොත්තු ඉටු කර තියෙනවද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයට කලින් ප‍්‍රකාශ කෙරුව ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ වැඩපිළිවෙලකට යනව කියල. අපි ඒක විශ්වාස කෙරුව. ඒ වනවිට ජාතික මහජන පක්‍ෂ ගොඩනැගිල තිබුණෙ නෑ. නමුත් ඒ සංහිඳියාව අගය කරන පිරිසක් ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට උදව් කෙරුවෙ ඒකයි. ජනවාරි 8 වෙනිදා එතුමා ජනාධිපතිතනතුරට පත්වීමට එම ක‍්‍රියාකාරීන්ගේ කැපවීමත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළා කියල කියන්න පුළුවන්. ආර්ථික අතින් රටේ යම් යම් අර්භූද තිබුණත්, ජනාධිපති තුමා සංහිඳියාව කාර්යේදී සාධනීය වැඩ කොටසක් කරන්න උත්සහ ගන්න බව පේනව. ඔහුට ඒ පිලිබඳව උවමනාවක් තියෙන බව පේනව.

හැබැයි සංහිඳියාව පමණක් ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට එකම විසඳුම නෙමෙයි. රටට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. රටේ සාරධර්ම රැුකෙන ආකාරයේ සමාජ ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ අතින් මේ රජය මන්දගාමියි. හොරු එළවනව කිව්වට තවම හොරු එළවල නැහැ. ඔවුන්ට විරුද්ධව කටයුතු කරන පාටක් නැහැ. ඔවුන්ට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බලය වැඩි කරගැනීම බව පේනව. ඒ නිසා සිද්ධවෙලා තියනව, හොරුයයි හංවඩුගහපු කණ්ඩායමත් තමන්ගෙ ගොඩට දාගන්න.  ඒ අතින් ජනතා බලාපොරොත්තු මේ රජය ඉටු කරයිද කියල සැකයක් තියනව.

ඔබලා ගේ පක්‍ෂය අනාගතයේ දී කිසියම් ප‍්‍රබල කණ්ඩායමක් සමග එකතු වීමට ඉඩ තියෙනවද?

නෑ. එහෙම එකතුවෙන්නම කියල නීතියක් නෑ. මේ රටේ කිසිම පක්‍ෂයක් තනියම බලයට ඇවිල්ල නෑ. මොන විදිහක හෝ සංධානගතවීමක් තිබුණ. බණ්ඩාරණායක මහත්තය 1956 දි බලයට ආවේ මහජන එක්සත් පෙරමුණෙන්, 1970 දි සිරිමාවෝ මැතිණිය බලයට ආවේ සමගි පෙරමුණෙන්. වත්මන් රජයට බලයට ඒමට පක්‍ෂ, සංවිධාන රැුසක් සම්බන්ධ වුණා. අපිට තනියෙන් බලයක් අල්ලන්න පුළුවන් කියල අධිතක්සේරුවක් නෑ. අපිට යම් කිසි පක්‍ෂයකට උදව් කරන්න  ඕන අවස්ථාවක් ආවොත් ප‍්‍රතිපත්තිමය කරුණු මත උදව් කරනව. නමුත් පක්‍ෂයවත්, ප‍්‍රතිපත්තිවත් පාවා දෙන්නෙ නැතිබව ස්ථිරවම කිව හැකියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *