තොරතුරු පනතේ ප්‍රතිපල ලැබෙන්නේ නොබියව අපක්ෂපාතිව ක්‍රියාත්මක කිරීමෙන් පමණයි – විපක්ෂ නායක ආර් සම්බන්ධන්

R. Sampanthar at the press conference 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී විපක්ෂ නායක ගරු ආර්.සම්බන්ධන් මැතිතුමා විසින් 2016.06.23 දින කරන ලද කථාවේ සිංහල පරිවර්ථනය.

 

අද දින විවාදයට ගෙන ඇත්තේ මෙයට බොහෝ කලකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබූ ඉතාමත් වැදගත් පනත් කෙටුම්පතකි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ නීතිය ලෝකයේ බොහෝ රටවල සම්මත කර ගෙන ඇති අතර, එය ව්‍යවස්ථාදායකය තුළ ඉතා වැදගත් අංගයක් ලෙස සැලකේ. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දැක්වීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

 

තොරතුරු දැනගැනීමේ අයිතිය මඟින් මූලික අයිතිවාසිකම් ශක්තිමත් කෙරේ. එය ප්‍රජාතන්ත්‍රවාදයද ශක්තිමත් කරයි.  එහි ප්‍රතිඵලයක් වශයෙන් පුරවැසියන්ද ශක්තිමත්වේ. මෙම පනත් කෙටුම්පත මඟින් ගම්‍ය වන න්‍යායානුගත අර්ථය පිළිබඳ වචන කිහිපයක් සඳහන් කිරීමට මම කැමැත්තෙමි. පරමාධිපත්‍යය හිමි වන්නේද ජනතාව වෙතය. පරමාධිපත්‍යය පවරා ඇත්තේද ජනතාව වෙතය. රාජ්‍ය බලය, ව්‍යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලය යන ඒවා ස්වාධිපත්‍යයට ඇතුළත්වේ. එලෙසම ඡන්ද බලය හා මූලික අයිතිවාසිකම් පිළිබඳ බලයද එයට ඇතුළත්වේ. ජනතාව වෙනුවෙන් හා ජනතාව නමින් විවිධ ආයතන විසින් මෙම බලතල භුක්ති විදිනු ලබයි. බලතල වෙන්කිරීමේ සිද්ධාන්තය මඟින් අදහස් කරනුයේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන වෙනස් ආයතන තම බලතල එකිනෙකින් ස්වාධීනව හා මැදිහත්වීම්වලින් තොරව භුක්ති විඳීමට ඇති අයිතිය තහවුරු කරලීම යන්නයි. එය      ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතාවගේ ස්වාධිපත්‍යයත් ආරක්ෂා කෙරෙන මූලික අංගයයි. ජනතාව තම ස්වාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරගැනීම සඳහා අර්ථාන්විත ලෙස දායක වන්නේ නම්, රට තුළ සිදුවන සියලුම දෑ පිළිබඳව විශේෂයෙන්ම පාලනය හා සම්බන්ධ කරුණු පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුය. සෑම දෙනාම දැනුවත් කරලීම ප්‍රායෝගික නොවිය හැකිය. එහෙත් අවම වශයෙන් සමාජය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන අයට හා අන් අයට වඩා දැනුවත් බවින් වැඩි අයටවත්, පොදු ජනතාව වෙනුවෙන් පාලනය හා සම්බන්ධ කරුණු පිළිබඳව විශ්වාසනීය හා නිවැරදි තොරතුරු ලබාගැනීමට අවස්ථාව තිබීම ඉතා වැදගත්වේ.

 

රජය යනු, ජනතාව වෙනුවෙන් යම්කිසි කාලයක් සඳහා කාර්යයන් හා යුතුකම් ඉටු කරලීමේ වගකීම දරන භාරකරුවකු පමණි. මෙම කාර්යයන් රහසිගතව හෝ ජනතාවගේ නිරීක්ෂණයෙන් බැහැරව ඉටුකළ නොහැක. එවැනි නිරීක්ෂණයක් සිදු කළ හැකි වනුයේ ජනතාව එම කාර්යයන් පිළිබඳව මනාව හා නිවැරදි ලෙස දැනුවත් කර ඇති විට පමණි. තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම ජනතාවට ලබාදෙන මෙම පනත් කෙටුම්පතෙහි  න්‍යායානුගත අර්ථයත් එහි අවශ්‍යතාවත් රඳා පවතින්නේ ඒ අනුවය.

 

බොහෝ කාලයක සිටම මේ රටේ බලයට පත් වූ රජයන් කටයුතු කර ඇත්තේ තමන් ජනතාවට උත්තර දීමට බැඳී නොමැති ලෙසටය. ඔවුන් ජනතාවට උත්තර බැඳීමට කටයුතු කර ඇත්තේ මැතිවරණ සමයේදී පමණි. මෙම ප්‍රවණතාවය වෙනස් කර ලීමට මෙම නීතිය ඉවහල් වනු ඇත. මහා පරිමාණයෙන් සිදුවන නාස්තිය හා දූෂණය වැළැක්වීමට මෙම නීතියෙන් පහසුකම් සැලසිය යුතුය. මෙම පාර්ලිමේන්තුව මගින් වෙන් කෙරෙන මහජන මුදල් එය වියදම් කිරීමට අවසරය ලබා දී ඇති කාර්යය වෙනුවෙන් ම මිස වෙනත් කිසිම ආකාරයකට වැරදි ලෙස වියදම් කිරීම වැළැක්වීමට මෙම නීතිය උපකාරී වනු ඇත. පසුගිය කාලය පුරා නිරතුරුවම සිදු වී ඇත්තේ එවැනි දේවල් බවට විශ්වාස කළ හැකි කරුණු තිබේ.

 

මෙම නීතිය මගින් තොරතුරු සැඟවීම වැළැක්වී, මහජනයාට වැදගත් වන තොරතුරු අනාවරණය කිරීමට හැකිවනු ඇත. මෙම පනත ගෙන ඒමේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට නම්, එය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන පුද්ගලයන් විසින් අදාළ මූලධර්මයන් පිළිපැදිය යුතු බව සදහන් කිරීමට මම කැමැත්තෙමි. සෑම ආයතනයක් ම දේශපාලනීකරණය වී තිබීම අප රට තුළ තිබෙන සංස්කෘතියයි. ඇත්තෙන්ම එක් කාලයක ඉහළම තත්වයක තිබූ මේ රටේ අධිකරණයට පවා එම කීර්තිනාමයත්, ස්වාධීනත්වය හා අපක්‍ෂපාතී බවත් තව දුරටත් පවත්වා ගත නොහැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නීතියේ පාලනය බිඳ වැටී ඇති බැවින් රට බලවත් හානිදායක තත්ත්වයකට පත්ව ඇත. එබැවින් අද බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ යුක්තිය ඉටුකර ලීම සිදුකල හැකිකේ විදේශ විනිශ්චයකරුවන්ගෙන් පමණක් බවය.

 

මෙම නීතිය යට‍තේ ස්ථාපනය කරනු ලබන ආයතන වලට ස්වාධීනව හා නොබියව ක්‍රියාකිරීමට හැකි විය යුතුය. මෙම නීතියේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට නම්, දේශපාලඥයන් විසින් රැවටිලි සහිත ක්‍රියාවන් ගෙන්  වැළකී සිටිය යුතුය. මෙහි සැබෑ අරමුණ එය නම්, එය ඉටු කර ගත යුතුව ඇත.

 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් පවා විධිවිධාන සපයා නොමැති රජයේ ඇතැම් දැඩි හා අසාධාරණ ක්‍රියාවන් පිළිබඳව ජනතාව ඉල්ලා සිටින තොරතුරු පිළිබඳව ඔවුන් දැනුවත් කළහොත්, මේ රටේ මහජනතාව විසින් නිසැකවම තම අප්‍රසාදය රජයට පළ කරනු ඇත.  මෙම පනත් කෙටුම්පත මඟින් ඇතැම් විශේෂිත කරුණු සම්බන්ධ තොරතුරු අනාවරණය කළ නොහැකි බවත්, ඒවා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මඟින් නිදහස් කර ඇති බවත් දක්වා ඇත.  එසේ නිදහස් කර ඇති බොහෝ තොරතුරු ජාතික වැදගත්කමකින් යුතු ඒවාද විය හැක.  2005 දී ඉන්දියානු පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ පිටපතක් මා සතුව ඇත.  එම නීතිය ඉන්දියාවේ ක්‍රියාත්මකවේ.

 

ඉන්දියාවේ පවතින මෙම නීතිය යටතේ නිදහස් කරලීම් සම්බන්ධයෙන් එහි පූර්විකාවේ, “ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනුවත් බවින් යුත් පුරවැසියන් සිටිය යුතු බවත්, එහි මනා ක්‍රියාකාරීත්වය සඳහාත් දූෂණය පාලනය කිරීම සදහාත් රජයන් හා එහි උපකාරක ආයතන පාලනයට උත්තර බැඳිය යුතු ආකාරයට පවත්වා ගැනීමටත් තොරතුරුවල විනිවිද භාවය ඉතා වැදගත් වන බව සදහන්ව ඇත. එමෙන්ම රජයේ කටයුතු කාර්යක්ෂම ලෙස සිදු කිරීම, සීමිත මූල්‍ය සම්පත් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම, සංවේදී තොරතුරුවල රහස්‍ය බව ආරක්ෂා කර ගැනීම ඇතුළු කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් තොරතුරු හෙළි දරව් කිරීම තුළින් අනෙකුත් පොදු වැදගත්කමක් ඇති කටයුතු සමඟ ගැටීම් ඇතිවිය හැකි බැවින්ද, ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ වල  උත්තරීතර බව ආරක්ෂා කර ගනිමින් එම ගැටීම් ඇතිවන කටයුතු සමඟ සුසංගත බවක් පවත්වා ගැනීම අවශ්‍ය වන බැවින්ද, සුදුසු තොරතුරු දැනගැනීමට, අවශ්‍යතාව ඇති පුරවැසියන්ට ඒවා ලබාදීමට නොපමාව කටයුතු කළ යුතු බවද සඳහන් වේ.”

 

වෙනත් ආකාරයකින් කිවහොත්, තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් ජාතික වැදගත් කමක් ඇති ඇතැම් කරුණු නිදහස් කරලීමේ අවශ්‍යතාවක් ඇති බව අවධාරණය කරන අතර, එසේ කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ වල උත්තරීතර බව, එනම් ජනතාවගේ ස්වාධිපත්‍යය නිසැකවම ආරක්ෂා විය යුතුය. එලෙසම මෙම විවිධ වැදගත් කටයුතු අතර සුසංගතතාව පවත්වා ගත යුතු අතර කිසිම ආකාරයකින් ජාතික වශයෙන් වැදගත් වන කටයුතු වලට හානියක් සිදු නොවිය යුතුය. එහෙත් ඒ සමඟම සත්‍යය දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය යටපත් නොකළ යුතුය.

 

තොරතුරු අනාවරණය කිරීම මගින් පොදු කටයුතු වලට හානියක් සිදු නොවිය යුතුය. එහෙත් එලෙසම තොරතුරු අනාවරණය මගින් මහජනයාට සිදුවන යහපත අන් දෙයක් අරභයා බිලි නොදිය යුතුය. නිවැරදි සමබරතාවයක් පවත්වා ගත හැකි වනුයේ ඒ ආකාරයටයි.

 

මෙම නීතිය යටතේ ස්ථාපනය කරනු ලබන ආයතන වලට දැඩි වගකීමකින් යුතු කාර්යයක් පැවරෙනු ඇත. මෙම රටට යහපත උදා කර ගත හැකි වනුයේ, එය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන ආයතන විසින් නොබියව හා අපක්ෂපාතීව එහි විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් පමණි. එමගින් මෙම රටෙහි ජනතාවට නිකැලැල් හා විනිවිද බවින් යුත් යහපාලනයක් මේ රට තුළ ඇති බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකිවේ. මෙම නීතිය යටතේ අනාවරණය කර ගත හැකි තොරතුරු පදනම් කර ගෙන මහජනතාව දැනුවත් අය බවට පත්වී, පාලනය තුළ ඇති සෑම ආකාරයේම කටයුතු පිළිබඳව ඔවුන්ට දැන ගැනීමට අවස්ථාව ලැබීම හේතු කොට ගෙන මේ රට අනාගතයේදී වෙනස් දිශානතියකට යොමු වනු ඇත.

 

මෙහි සිංහල හා ඉංග්‍රීසි පාඨ අතර ඇති නොගැලපීම් පිළිබඳ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පුවත්පත්  ආයතනය විසින් මා වෙත ලබා දී ඇති අතර, අවසානයේදී බලපැවැත්වෙනුයේ සිංහල පාඨය වන බැවින්, හෙට දින කාරක සභා අවස්ථාව රැස්වන විට අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කර ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි මා එය ගරු අමාත්‍යවරයාගේ හා එතුමාගේ කාර්යය මණ්ඩලයේ අවධානය පිණිස සභාගත කරමි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *