නීති කඩන පොලීසිය – අනුර සූරියබණ්ඩාර  

 

උද්ඝෝෂණ විරෝධතා අවස්ථාවන් හි දී ගමනාගමන කටයුතු ආදිය අවහිර වන සේ මාර්ග හරස් නො කළ යුතුය යන ඉල්ලීමක් පසුගිය දා යුද හමුදා පතිවරයා විසින් නිකුත් කර තිබිණ.

ඉහත කරුණ මතකයට නැඟුණේ පොලිසිය විසින්, ජනාධිපති කාර්යාලය දෙසට දිවෙන මාර්ග සියල්ල වසා යකඩ වැට ඉඳිකර තිබෙනු දැකීමෙනි.ඒවා වෙනදා හරස් කරන තාවකාලික මාර්ග බාධක මෙන්  නොව යකඩින් ස්ථිරව ඉඳිකරනු ලැබ තිබේ. මාර්ග බාධක වල අරමුණ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ජනාධිපති කාර්යාලය වෙතට ලඟා වීම වලකාලීමය.

පොලිසිය විසින් මෙසේ හරස් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ඉඩමක පිහිටි මාර්ග නොව පොදු මංමාවත්ය. ජනාධිපති ලේකම් කාර්යාලය පමණක්  පිවිසීමට ඇති මාර්ගද නොවේ; පොදු ජනතාවගේ භාවිතය සඳහා යොදා ගැනෙන මාර්ග වේ. ඒ අනුව පොලිසිය නිදහසේ ගමන් බිමන් යාමට ජනතාව සතු අයිතිය කඩකර තිබේ. එය මානව හිමිකම් යටතට ගැනෙණ වරදකි. එකී මාර්ග බාධක හේතුවෙන් එම මාර්ග වල වාහන ධාවනයටද බාධා සිදුවිය. ඒ අනුව එය හමුදා පති වරයාගේ ඉල්ලීම පොලිසිය විසින් පැහැරහැරීමකි.

එකී මාර්ග බාධක ඉඳිකිරීම සඳහා පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබාගෙන නැති බව ද කියැවේ. ඒ අනුව පොලිසිය සිදුකර ඇත්තේ අනුන්ගේ ඉඩමක වැටක් ගැසුවා වැනි නීති විරෝධී කටයුත්තකි.

මාර්ග බාධක ඉඳිකිරීම සඳහා පොලිසිය කාපට් හාරා තිබේ. මාර්ග යනු පොදු දේපළ කි. ඒ අනුව අවසරයකින් තොරව පාරේ කාපට් සිදුරු කිරීම පොදු දේපළ වලට හානි කිරීමයි. පාරේ ටයර් ගිනිතබා විරෝධතා පවත්වන ජනතාවට පොදු දේපළ පනත යටතේ නඩු පවරන පොලිසියද අදාළ මාර්ග වල කාපට් කඩා දැමීමෙන් කර ඇත්තේ පොදු දේපළ පනත යටතට ගැනෙණ වරදකි.

මෙකී මාර්ග බාධක ඉඳිකිරීම මගින් පෙන්වනු ලබන වැදගත්ම කරුණ , ⁣මෙරට  බුද්ධි අංශ කොතරම් දුර්වලද යන්නය. පොලිසිය උපකල්පනය කළේ අන්තර් විශ්ව විද්‍යාල සිසුන් එන්නේ ජනාධිපති කාර්යාලයට කියා වුව සිසුන් ගොස් තිබුණේ අග්‍රාමාත්‍ය නිල නිවෙසටය.

වත්මන් ආණ්ඩුව විරෝධතා වලට ඇති අයිතියට බාධා නොකරන බව  පොලිසිය බාර ඇමැතිවරයා මෑතදී  ප්‍රකාශ කළ නමුත්  පොලීසියේ මාර්ග බාධක වලින් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විරෝධය පෑමේ අයිතිය පමණක් නොව නිදහසේ සංචරණයට ඇති අයිතියටත් ඉඩ නොතබන බවය.⁣ ජනතා විරෝධය හෙතුවෙන් රාජපක්ෂවරුන් ඇතුළු ආණ්ඩුව කොතරම් බියව සළිතවී තිබේද යන වගද  මෙකී මාර්ග බාධක නිසා පැහැදිලි වේ. ජනතා විරෝධය හමුවේ තව එතරම් කාලයක් රාජපක්ෂවරුන්ටත් ආණ්ඩුවටත් අල්ලාගෙන සිටිය නොහැකි වනු ඇති බව මේ සියල්ලෙන් වඩාත් පැහැදිලි වේ.

 අනුර සූරියබණ්ඩාර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *