ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න සජබ තීරණය කළා ; ඉදිරි දින කිහිපයේ දී අලුත් ආණ්ඩුවක් – රාජිත සේනාරත්න

අන්තර් වාර පාලනයකට සම්බන්ධ නොවන්න සමගි ජන බලවේගය මුලින් ගෙන තිබු තීරණය වෙනස් කළ බවත්, ඒ අනුව තම පක්ෂය ද සම්බන්ධ වූ ආණ්ඩුවක් ඉදිරි දින කිහිපයේ දී පිහිටුවනු ලබන බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය.

එමෙන් ම රජයට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් රජයෙන් ඉවත් වූ පක්ෂ සමග සාකච්ඡා කොට අවසන් කෙටුම්පතකට එකඟ වූ බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගට ම ප්‍රකාශ කරමින් සිටියේ කිසිදු අන්තර් වාර පාලනයකට තම පක්ෂය සම්බන්ධ නොවන බවයි. එබැවින් අන්තර් වාර පාලනයක් ගොඩනැගීම මේ දක්වා අපහසු වී තිබු අතර ආණ්ඩු පක්ෂයෙන් අන්තර් වාර පාලනයකට සහය දෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් තිබිණි.

ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් දහ දෙනෙකු අන්තර් වාර පාලනයක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් භාර දීමත්, ඇමති නාලක ගොඩහේවා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ද එම අදහස ප්‍රකාශ කිරීමත් සමග එම ඉල්ලීම වඩා බලවත් වී ය.

සමගි ජන බලවේගය ද අන්තර් වාර පාලනයකට සහාය දීමත් සමග එම කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය බවට පත්ව ඇත.

ඒ අනුව නව අගමැතිවරයකු යටතේ සීමිත ඇමති මණ්ඩලයක් දිවුරුම් දීම ඉදිරි දින කිහිපයේ දී සිදුවනු ඇති බව විපක්ෂ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *