යාපනේ අපරාධකරුවන්ව ත්‍රාසයෙන් තැතිගැන්වූ විනිසුරු ඉලන්චේලියන්- පී. කේ. බාලචන්ද්‍රන්

උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන යාපනය, කඩිසර සහ කාර්යක්ෂම මිනිසුන්ට ජනාවාස, විද්වත් භාවයට ඉඩක් ඇති, ඒ සියල්ලටම වඩා, නීති ගරුකත්වය අගයන සමාජයක් වශයෙන් සම්ප්‍රදායික කීර්තියක් දිනාගෙන තිබේ. නිදහස් දෙමළ ඊලාමයක් වෙනුවෙන් අරගල පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම පළාතේ (ඔවුන් හැරුණු විට අනිත් අය විසින්) පවතින නීතිය පිළිපදින බවටත්, දෙමළ සමාජ සම්මතයන් ආරක්ෂා කෙරෙන බවටත් වගබලා ගත්තේය.

එහෙත් 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කර දැමීමෙන් පසු එම පළාතේ සන්නද්ධ මංපැහැරීම්, ගෙවල් බිඳීම්, කල්ලි ගැසී එකිනෙකා මරා ගැනීම්, කාන්තා දූෂණයන්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇබ්බැහියන් ආදී සමාජ විරෝධී ක්‍රියා ඉතා බරපතල ආකාරයෙන් හිස ඔසවන්නට විය.

දෙමළ සටන් චිත්‍රපටවල ආභාෂය ලද මැර කල්ලි, පිහි කිණිසි රැගෙන යාපනය නගරයේ සැරිසරන්ට පටන් ගත්හ. මෝටර් සයිකල්වල නැගී මාරාන්තික ධාවනයේ යෙදමින් ඔවුහූ චණ්ඩිකම් කරන්ට වූහ. මාල කඩා ගන්නට වූහ. පාසල් යන සිසුහු මත්ද්‍රව්‍ය සහ මත්පැන් ආදියට පමණක් නොව, පිම්පි කම් කිරීමටත් පෙළඹුණහ. එහි පැවති ඉතා බරපතල තත්වය වුණේ, එසේ හැසිරෙන බොහොමයක් තරුණයන් උසස් වෘත්තිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වීමයි.

එම පළාතේ මහ ඇමතිවරයාගේ සිට සාමාන්‍ය ජනතාව ඒ ගැන ඇඟිල්ල දිගු කරන්ට වූයේ, උතුරු පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටි 150,000 ක් වූ ත්‍රිවිධ හමුදාවන්ටයි. අපරාධකරුවන් නිදැල්ලේ සැරිසරන්නේ නම්, එසේ සිදුවන්නේ මේ හමුදා කොටස්වල ආධාරයෙන් බවට සැකයක් ඔවුන් තුළ තිබුණි. ඒ තත්වය තුළ, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවන් මුළුමණින්ම එම පළාතෙන් ඉවත් විය යුතු බවට පළාතේ මහ ඇමතිවරයා දිගින් දිගටම ඉල්ලා සිටියේය.

එහෙත් බොහෝ දෙමළ වැසියන් මේ තත්වය වෙනස් කර ගැනීමට කිසිවක් නොකරමින් පිටස්තරයන් මත වරද පටවමින් සිටින අතරේ, යාපනේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මේ තත්වයට එරෙහිව තදින් සිටීමට ඉටා ගත්තේය. නීතිය, එඩිතර භාවය සහ යම් චණ්ඩිකමක්ද එකට ගෙන ක්‍රියාත්මක වූ ඔහු, වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ එම පළාතේ අපරාධ අනුපාතිකය සෑහෙන ප්‍රමාණයකින් පහළ බැස්සවීය. ඒ වෙනුවෙන් සමාජයේ සෑම කොටසකගේම ප්‍රශංසාව ඔහුට හිමි විය.

‘ඒ තත්වය ගැන වැඩියත්ම සතුටු වුණේ, වරදට පෙළඹුණු තරුණයන්ගේ දෙමාපියෝ. මොකද, ඒ වෙනකොට තමන්ගේ දරුවන්ව පාලනය කර ගැනීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහිලයි තිබුණේ.’ විනිසුරු ඉලන්චේලියන් කියයි.

‘මං මගේ අධිකරණ බලය පාවිච්චි කරලා, හැන්දෑවට මුර සංචාරයේ යන්න එස්.ටී.එෆ්. එක යෙදෙව්වා. ඒ වෙන කොට එස්.ටී.එෆ්. එක නැගෙනහිර පළාතේ යම් අප්‍රසාදයකට පත්වෙලා හිටිය නිසා, හුඟාක් දෙනා මට දොස් කිව්වා, එස්.ටී.එෆ්. එක වගේ ආණ්ඩුවේ ඒකකයක් මේ සඳහා යොදවා ගැනීම ගැන. ඒත්. එස්.ටී.එෆ්. එක කියන්නේ, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පාවිච්චි කළ යුතු මෙවලමක් බව මං දැක්කා. ඒ එක්කම මං නියෝගයක් නිකුත් කළා, පස් දෙනෙකුට වැඩිය රංචු ගැහිලා ඉන්න එක නීති විරෝධීයි කියලා. එහෙම අයව අත්අඩංගුවට ගන්න කියලා මං එස්.ටී.එෆ්. එකට නියෝග කළා.’ ඔහු තවදුරටත් කීය.

අධිකරණ ක්‍රමය තුළ පැවති තවත් දෝෂයක් මේ කාලය තුළ ඔහු දුරු කෙළේය. එනම්, ඕනෑම වරදක් කොට පහසුවෙන් ඇප ලබා නිදහස් වී යාමට තිබූ හැකියාව නැති කිරීමයි. එසේම, සීමාවකින් තොරව නඩු වාර කල් දමා ගැනීමට නීතිඥයන් තුළ තිබූ පුරුද්දත් ඔහු නැති කෙළේය. ඔහුගේ ක්‍රමය පමණට වඩා දරදඬු නොවන්නේදැයි ප්‍රශ්න කළ විට ඔහු කියන්නේ, ‘අපරාධ වැළැක්වීමේ කාර්යයේදී සැරට සිටීම වැදගත් බව තමන් විශ්වාස කරන’ බවයි.

සන්ධිස්ථාන නඩු තීන්දු

නිර්භීත භාවය පිළිබඳව විනිසුරු ඉලන්චේලියන් කෙරෙහි තිබූ කීර්තිය විදහාපෑ එක් අවස්ථාවක් වුණේ, 1999 දී ක්‍රිෂාන්ති කුමාරස්වාමී නැමැති පාසල් සිසුවිය දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඔහු දුන් නඩු තීන්දුවයි. යාපන දිස්ත්‍රික්කයේ චෙමම්මනි නැමැති ප්‍රදේශයේ සිදුවූ මේ සාහසික අපරාධයේ එක් චූදිතයෙකු වුණේ හමුදා කපිතාන්වරයෙකි. 18 වියැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් හමුදා කඳවුරක් තුළ දූෂණය කොට ඝාතනය කර දමා තිබුණි. එම සිද්ධිය එදා ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය. එහි එක් චූදිතයෙකු වූ කෝපරල් සෝමරත්න රාජපක්ෂ, ඉලන්චේලියන් ඉදිරියේ සාක්ෂි දෙමින්, චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළක 300-400 ක් අතර සිරුරු වළ දමා ඇති බව කියා සිටියේය. හමුදා නිලධාරීන් හත් දෙනෙකු දූෂණය සහ ඝාතනය සඳහා සහභාගී වූ බවත් ඔහු කියා සිටියේය.

එකී නිලධාරීන්ව අත්අඩංගුවට ගැනීමට මෙම විනිසුරුවරයා නියෝග කළා පමණක් නොව, එම ස්ථානයෙන් සිරුරු ගොඩ ගැනීමටත් අණ කෙළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය යටතේ සිරුරු පහළොවක් ගොඩ ගැනුණි.

‘හිතූ විදිහටම, ආරක්ෂක අමාත්‍යාංශය එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට දුන් තීන්දුවට විරෝධය පෑවා. සිංහල හමුදා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්න දෙමළ විනිසුරුවරයෙකුට සිංහල මහ ජාතියෙන් ඉඩක් ලැබෙන එකක් නැහැ කියලයි හුඟාක් දෙනා හිතුවේ. ඒත්, ජාත්‍යන්තර මතයට හිස නමපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, එම නිලධාරීන් අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නා. ඒ වුණත්, ඒ විදිහට අත්අඩංගුවට පත්වෙච්ච හමුදා නිලධාරීන් හතර දෙනෙක්, කොළඹ අභියාචනාධිකරණය ඉදිරියට ගිහිල්ලා පස්සේ ඇප ලබා ගත්තා.’ විනිසුරු ඉලන්චේලියන් කියයි.

එපමණක් නොව, ඒ නඩුව ඇසෙන අතරවාරයේ එකී නිලධාරීහූ ලුතිනන් කර්නල් තනතුරුවලටද උසස්වීම් ලැබූහ.

2010 දී විශ්වමඩු ප්‍රදේශයේ දෙමළ කාන්තාවන් දෙන්නෙකු දූෂණයට ලක්කළ හමුදා කෝපරල්වරුන් හතර දෙනෙකුව බරපතල වැඩ සහිතව අවුරුදු 20 ක සිර දඬුවමකට නියම කළ විනිසුරු ඉලන්චේලියන්, ඊට අමතරව, රුපියල් 500,000 ක වන්දියක්ද, රුපියල් 25,000 ක දඩයක්ද ඔවුන්ට නියම කෙළේය. එම වන්දිය සහ දඩය නොගෙවන්නේ නම්, හිර දඬුවම බරපතල වැඩ සහිත වසර තිහක් වන බවටත් තීන්දු කෙළේය.

2015 සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේදී, ලංකාවේ අධිකරණය ස්වාධීන බවත්, එඩිතර බවත් කියාපාමින්, යුද අපරාධ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර නඩුකාරයන් අවශ්‍ය නොකරන බවට තර්ක කිරීම සඳහා ලංකාවේ ආණ්ඩුව උදාහරණයට ගත්තේ, දෙමළ විනිසුරුවරයෙකු විසින් සිංහල හමුදා නිලධාරීන්ව වැරදිකරුවන් කළ මෙකී නඩු තීන්දු දෙකයි.

ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා කළ සේවය වෙනුවෙන් 2001 දී විනිසුරු ඉලන්චේලියන්ට ඇමරිකානු ආණඩුව එරට සම්මානිත පුරවැසි භාවය ප්‍රදානය කෙළේය.

2016 ජුනි 21 වැනි දා ‘ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතේ පළවූ
යාපනේ අපරාධකරුවන්ව ත්‍රාසයෙන් තැතිගැන්වූ විනිසුරු ඉලන්චේලියන්
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *