74 වසරක ශාපය – අනුර කේ එදිරිසූරිය 

74 වසරක ශාපය තුරන් කරමු! යනු මේ වන විට පවතින ජනතා උද්ඝෝෂණ වල කැපීපෙනෙන සටන් පාඨයකි. ඉන් අදහස් කරනුයේ, නිදහසින් පසුව ගෙවුණු කාලය තුළ රට පාලනය කළ සියලු ආණ්ඩු විසින් මේ රට පරිහානිය කරා ළඟා කර ඇත; ඉදිරියේ සිදුවන ආණ්ඩු වෙනසකදී මෙතෙක් රට පාලනය කළ බලවේග වලට වෙනස් පාලක පිරිසක් තෝරා ගත යුතුය යන්නය.

පසුගියදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එම මතයට ප්‍රතිපක්ෂ අදහසක් දක්වමින් පැවසුවේ මෙය 74 වසරක ශාපයක් නොව 1977 න් පසුව එනම් විවෘත ආර්ථිකය හේතුවෙන් පැනනැඟුණක්ය යන්නය. ඒ අතර ඇතමකු විවෘත ආර්ථිකය යටතේ  මෙරට සිදු කරන ලද මහවැලි ව්‍යාපාරය වැනි සංවර්ධන ව්‍යාපාර මහපොළ වැනි ව්‍යාපෘති හුවා දක්වමින් පවතින අර්බුදයට හේතුව විවෘත ආර්ථිකය නොවන බව තහවුරු කරන්නට උත්සාහ දරනු පෙනිණ.

කවුරු කුමක් කීවා වුවද 74 වසරක ශාපය යන්නට තර්කානුකූල පදනමක් තිබේ. හේතුව නිදහසින් පසුව ගෙවුණු කාලය තුළ මේ රට යහපත් දිසාවකට ගමන් කර තිබේයැයි පිළිගන්නට හැකි තත්ත්වයක් නොතිබීමය. නිදසුනක් වශයෙන් නිදහසින් පසුව මේ රට ණය බරින් පීඩිත ජාතියක් බවට පත්ව තිබේ.  බදු කන්දක් මත වාඩිවී අපි දෙපා පද්දමින් අධිරාජ්‍යවාදීන් ගේ ඇඟ බදු බලු බදු ගැන ඇඟ කිලිපොළා යන කතාවලට සවන් දී අත් පොළ සන් නඟමින් සිටිමු. විදේශිකයන් විසින් ඉඳිකරනු ලැබූ දුම්රිය   මාර්ග පද්ධතිය නඩත්තු කර ගත නො හැකි තත්ත්වයට දැන් රට පත්වී තිබේ. සුද්දා අපට රට බාර දුන්නේ අතේ වියදමින් දුම්රිය පාර තනා ලාබයකුත් සාක්කුවේ දමාගෙනය. අපි වර්තමානයේ ලෝකයට ණය වී කෝච්චි පාරවල් තනා ගසන පම්පෝරි වලට විසිල් ගසමින් සිටිමු. නිදහස සඳහා එක්ව සටන් කළ සිංහල , දෙමළ , මුස්ලිම් ජනතාව මේ වන විට එකිනෙකා දෙස සැකයෙන් බලන තැනකට පත්ව සිටිති.  අධිරාජ්‍යවාදීන් කළ මිනිස් ඝාතන ගැන කියන අපට දකුණේ තරුණ කැරලි දෙකකදී සහ උතුරේ කැරැල්ලේදී අපේම ආණ්ඩු විසින් කරන ලද ඝාතන ගැන කනගාටුවක් නැත. පර සුද්දන් මෙරටට දායාද කළ පාසල් පද්ධතිය සහ විශ්ව විද්‍යාල පද්ධතිය ඇස් ඉදිරිපිටම පරිහානියට පත්ව තිබියදී අප නිදහස් අධ්‍යාපනය ගැන පුරසාරම් කියමින් සිටිමු.

අද රට මුහුණ දෙන යම් ගැටලු ප්‍රමාණයක් ඇත්නම් ඊට මෙතෙක් මේ රට පාලනය කළ සියලු පක්ෂ  සහ එකී පාලනයට හවුල් වූ සියලු කණ්ඩායම් වග කිය යුතු බවට සැකයක් නැත.

වාසුදේව ඇතුළු ඇතැමුන් මේ තත්ත්වයට හේතුව විවෘත ආර්ථිකය ලෙස අර්ථකථනය කරන්නට උත්සාහ කරති. එහි අදහස විවෘත ආර්ථිකයට පෙර මේ රට දියුණුවෙන් දියුණුවට පත් වෙමින් තිබුණු බවයි. ප්‍රකාශයක් වශයෙන් එය සිත් ගන්නාසුලු වුව සැබෑව එය නොවේ.නිදසුනක් වශයෙන් හාල් සේරු දෙක, ධාන්‍ය රාත්තල් අට වැනි පොරොන්දුවලින් ඡන්ද දිනන්නට පාලකයන්ට හැකිවූයේ ජනතාව පෙළුෑ දිළිදු බව නිසාය. මෙරට ජාතිවාදී දේශපාලනයට මුල්ගල් තබමින් සිංහල පමණි පිළිවෙත හඳුන්වා දුන් බණ්ඩාරනායක ප්‍රශ්නයේ කොටස්කාරයෙකි. බුද්ධාගම රාජ්‍යය සමඟ ගැටගසන ලද ජනරජ ව්‍යවස්ථාව පවතින තත්ත්වයට හේතුවකි. එපමණක් නොව රාජ්‍ය සේවකයන් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමේ මූලික පියවර තබනු ලැබුවේද 70-77 සිරිමා බණ්ඩාරනායක පාලන සමයේය. ජනරජ ව්‍යවස්ථාවේ පීතෘවරු වාමාංශිකයන්ය.

විවෘත ආර්ථිකය යටතේ ප්‍රශ්නය ඔඩුදුවන ලද නමුත් ගැටලුවට එකම හේතුව විවෘත ආර්ථිකය බවද පිළිගත නොහැකිය.වරද ඇත්තේ විවෘත ආර්ථිකය හැසිරවූ ආකාරයේ මිස විවෘත ආර්ථිකයේ නොවෙි.එනම් මෙරට ක්‍රියාත්මක වන්නේ විවෘත ආර්ථිකයේ විකෘතියක් ය යන්නය. නිදසුනක් වශයෙන් ලොව බොහෝ රටවල මගී ප්‍රවාහනය පෞද්ගලීකරණයට ලක්කරනු ලැබුණේ සමාගම් හරහා වන නමුත් මෙරට දී සිදුවූයේ මගී ප්‍රවාහනය පෞද්ගලීකරණයේ මුවාවෙන් දේශපාලන හෙන්චයියන්ට  ලබා දීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට මෙරට මගී ප්‍රවාහනය මගියාටත්, බස් හිමියාටත්, ආණ්ඩුවටත් වදයක් බවට පත්වී තිබේ. එහිම අනෙක් පැත්ත, එතෙක් ⁣සමාගම් මගින් ලාබදායීව පවත්වාගෙන යනු ලැබූ බස් , ජනසතුවෙන් පසුව ලංගමය සේවකයන්ට පඩි නඩි ගෙවාගත නොහැකි තරමට බංකොලොත් වී භාණ්ඩාගාරයෙන් එනම් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන තත්ත්වයට පත්ව තිබේ. ජනසතු කිරීම නමැති ජනප්‍රිය මනෝරාජික සමාජවාදී පිළිවෙත පොදු ජනයාගේ හිස මත කඩා වැටී ඇති ආකාරයයි ඒ. ජනසතු කිරීම වෙනුවට සේවකයාගේත් මගියාගේත් අයිතිය ආරක්ෂා වන ආකාරයට බස් සමාගම් නෛතික රාමුවකින් කොටු කරනු ලැබුවේ නම් අද තත්ත්වය බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණි. ඉඩම් ආදි   සියලු ජනසතුවල අද තත්ත්වය සමානය.ඒ අනුව අන්ති⁣මට මෙරට දී ජන සතුවත් ෆේල්ය පෞද්ගලීකරණයත් ෆේල්ය. අපේ හාදයන් විවෘත  ආර්ථිකයට එරෙහිව පොලු රැගෙන සටන් කරන අතර  ඉන් වැඩ ගත් ජාතීන් අපෙන් ගවු ගණනක් ඉදිරියට ගියේය.

74 වසරක ශාපයට රාජපක්ෂවරුන් ගේ සිට අනගාරික ධර්මපාල දක්වා වාමාංශිකයන් ද ඇතුළුව බොහෝ දෙනකු වගකිව යුතු වන්නේ ඒ අයුරිනි. එහෙයින් ම 74 වසරක ශාපය අවසන් කරනු හැකි වන්නේ ද මේ සියලු කාරණා විධිමත්ව කල්පනා කළ හැකි නායකයකුටය. ඒ නායකයා සොයා ගැනීම සඳහා ජනතාව ඉතිහාසය පුරා සිය ඡන්දය පාවිච්චි කළහ. ඉතිහාසයේ පැවැති මැතිවරණ සියල්ලේ දී ම මෙරට ජනතාව තම ඡන්දය පාවිච්චි කළේ, මට කෙළවේවා! රටට කෙළවේවා! කියා නොවේ. එහෙත් ස්වර්ගය පෙන්වා බලයට පැමිණි සෑම නායකයකුම  බැස ගියේ ජනතාවට කොකා නොව නරකාදියම පෙන්වාය.

74 වසරක ශාපය අවසන් කරන්නට සූදානම් වන ජනතාවට අපායේ කානිවල් පෙන්වන්නට ඇතැමුන් සූදානම් වන්නේ ද ඊළඟ ඡන්දයකදී තමන්ට සොරි ඩොට් කොම් බව බොහෝ දෙනෙක් දන්නා නිසාය. ගැලවුම් කාරයන් ගේ වේශයෙන් ඡන්දය ඉල්ලා එන අයගේ චරිත සහතික , හැසිරීම් සහතික , අධ්‍යාපන සහතික,පමණක් නොව හැකියාවේ සහ වැඩපිළිවෙළෙහි සක්‍යතා ගැන ද මෙවර ඡන්ද දායකයන් විසින් කතිරයට පෙර කල්පනා කළ යුතුය. ඊළඟට ආණ්ඩුව බාර ගන්නට සැරසෙන ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන පරිදි,” ජනතාවගේ ප්‍රශ්න ගැන කියනවා වෙනුවට ප්‍රශ්න වලට උත්තර කියව්! ” යන බලකිරීමද”  74 වසරක ශාපය තුරන් කරමු ! ” යන බැනරය අසලින් ඔසවා තැබීමට විරෝධතාකරුවන් පියවර ගත යුතුය.  නැතිනම් ඊළඟ පරම්පරාවට , 79 වසරක ශාපයක් ගැන කියන්නට සිදුවනු ඇත.

අනුර කේ එදිරිසූරිය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *