ජනතාව, විරෝධතා සහ උප්පරවැට්ටි – අනුර සූරියබණ්ඩාර 

 

ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජනතා විරෝධය දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබේ. මේ අරගලය තුළ කැපීපෙනෙන  අතිශය වැදගත් ලක්ෂණය තමන්ගේ අයිතිය වෙනුවෙන් ජනතාව ස්වේච්ඡාවෙන් කරන වීදි බැසීමය. පසුගිය තුන්වන දා පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතාව මැඩීමට ආණ්ඩුව පැනවූ අනීතික හදිසි නීතිය උල්ලංඝනය කිරීමට ජනතාව ගත් පියවර විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුවේ වහලුන් නොවේය යන පණිවුඩය ලබාදෙනු ලැබිණ. එදින ඇඳිරි නීතිය ප්‍රකාශය කරන්නට හෝ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නට  හෝ කිසිම හේතුවක්  රට තුළ තිබුණේ නැත. ආණ්ඩුවේ උත්සාහය වූයේ තමන්ට එරෙහි වන ජනතාව ව්‍යවස්ථාව උපයෝගී කරගනිමින් මැඩපවත්වන්නටය. එනම් මහජන ආරක්ෂාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනවා ඇති වගන්ති ආණ්ඩුවේ සහ ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ  ආරක්ෂාව සඳහා යොදා ගැනීමටය.

ආණ්ඩුවේ නියෝග නොතකමින්  ජනතාව ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමට පියවර ගැනීම හේතුවෙන් ආණ්ඩුව පත්වූ අසරණ භාවයේ තරම වචනයට පමණක් හෝ කැබිනට්ටුව ඉල්ලා අස්වූ බව කියන්නට සිදුවීම , ආණ්ඩුවට එක්වී ඇමැති ධූර බාරගන්නට ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කිරීම ආදියෙන්  පැහැදිලිවේ.අවලස්සන අමෙරිකානුවා හෙවත් බැසිල් රාජපක්ෂ ඉවත් කළ යුතුයැයි  විමල්, ගම්මන්පිල, වාසු ආදීන් දිගින් දිගටම කළ ඉල්ලීම කනකට නොගෙන සිටි ආණ්ඩුවට බැසිල් මුදල් අමාත්‍ය ධූරයෙන්  ඉවත් කරන්නට සිදු වීමෙන් පමණක් වුව ජනතා විරෝධය නිසා ආණ්ඩුව කොතරම් සළිතව තිබේද යන්න වටහා ගත හැකිය.  ගැටලුව වන්නේ ආණ්ඩුව  මෙකී පියවර සියල්ල  ගනු ලැබුවේ රටේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා නොව  එල්ල වන විරෝධය සමනය කර අලුත් වටයකින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට බව පෙනීමය.

ආණ්ඩුවේ වැරදි ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාව සතුය. එහෙත් මේ වනතුරු ජනතාව තමා සතු එම අයිතිය ක්‍රියාවේ යෙදවූයේ නැත. ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට සහ ඒවාට එරෙහි වීමට ජනතාව මේ දක්වන උනන්දුව අනාගතයේ බිහිවන කවර ආණ්ඩුවක් සම්බන්ධයෙන් වුව මේ ආකාරයෙන්ම ක්‍රියාවේ යෙදවීමට ජනතාව විශේෂයෙන්ම සිවිල් ක්‍රියාකාරිකයන් වගබලා ගත යුතුය.

ආණ්ඩුවේ වැරදි ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාව සතුය. එහෙත් මේ වනතුරු ජනතාව තමා සතු එම අයිතිය ක්‍රියාවේ යෙදවූයේ නැත. ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට සහ ඒවාට එරෙහි වීමට ජනතාව මේ දක්වන උනන්දුව අනාගතයේ බිහිවන කවර ආණ්ඩුවක් සම්බන්ධයෙන් වුව මේ ආකාරයෙන්ම ක්‍රියාවේ යෙදවීමට ජනතාව විශේෂයෙන්ම සිවිල් ක්‍රියාකාරිකයන් වගබලා ගත යුතුය. 

ජනතා විරෝධයට හේතු තේරුම් ගෙන විසඳුම් සෙවීමට උත්සාහ ගැනීම වෙනුවට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ විරෝධය බලහත්කාරයෙන් මර්දනය කිරීමට බව පෙනේ. ජනාධිපතිවරයාගේ නිවෙස අසල විරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත එයට නිදසුනකි. එහිදී සිදුවූයේ සාමකාමී විරෝධතාව ප්‍රචණ්ඩත්වයට යොමු කරවන්නට ආණ්ඩුව කටයුතු කිරීමය. විරෝධය අවසන්ව පැය කිහිපයක් ගතවන්නටත් පෙර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, සාමකාමී උද්ඝෝෂණය පසුව අන්තවාදී පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයට යොමු කළ බවයි. අන්තවාදීන් එතැනට මැදිහත් වූයේනම් ඒ සම්බන්ධව තොරතුරු කලින් දැනගැනීමට නොහැකි වීමද බුද්ධි අංශවල දුර්වලතාවකි. එනම් ආණ්ඩුවේම නොහැකියාවකි. කැති මුගුරු සහිත පිරිසක් විරෝධතාව තුළ සිටියේය කියන ආණ්ඩුවම බසය ගිනිතැබූ තැනැත්තන් හඳුනා ගැනීමට ජනතා සහය පැතීමද පුදුමසහගතය.

පාර්ලිමේන්තුව අසල විරෝධතාව අවස්ථාවේ අංක තහඩු නොමැති යතුරු පැදි වලින් පැමිණි කණ්ඩායම උත්සාහ ක⁣ළේද ජනතාව ප්‍රකෝප කරවන්නටද යන ගැටලුව තිබේ. අනුර කුමාර  දිසානායක මහතාගේ රියට ගොඩවූ තැනැත්තා සම්බන්ධයෙන් උනන්දු වන තරමට ආණ්ඩුව ගිනි අවි අතැතිව  අංක තහඩු නොමැති වාහන වලින් පැමිණි තැනැත්තන් ගැන විමසිලිමත් නොවීමද සැකකටයුතු පුදුමයකි. ඒ අතර විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ,ජනාධිපතිවරයාගේ නිවෙස අසල විරෝධතාවට ඇවන්ට් ගාඩ් අධිපතිවරයාගේ අනුදැනුමින් පිරිසක් සම්බන්ධ කර සිටි බවය. සාමකාමී විරෝධයට වෙනත් මුහුණුවරක් දීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරනු ලැබුවේ ඔවුන් විසින්ද යන ගැටලුව ඒ අනුව මතුවේ.

ආණ්ඩුව උත්සාහ කරන්නේ සාමකාමී උද්ඝෝෂණ වලට කන්දී  ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීම සහ ජනතාව පීඩනයට පත්කිරීමට හේතුවූ තමන්ගේ ක්‍රියාමාර්ග නිවැරදි කරගන්නවා වෙනුවට නැති ප්‍රචණ්ඩත්වයක් මවා පෙන්වා ජනතාව මර්දනය කරන්නට නම් තත්ත්වය තව තවත් බරපතළ වනවා මිස ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත. එමගින් නිසැකවම සිදුවන්නේ කළු ජූලිය 88-89 වැනි තත්වයකට රට පත්වී රට තවතවත් අරාජිකත්වයට පත් වීමය.ජනතා ප්‍රශ්න පිළිබඳ සංවේදී නොවී ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහා හෝ බලය රැකගැනීම සඳහා පමණක් කටයුතු කරන්නේ නම් ජනතා විරෝධය දැඩි වනු මිස ලිහිල් නොවන බවට සැකයක් නැත.

ආණ්ඩුව උත්සාහ කරන්නේ සාමකාමී උද්ඝෝෂණ වලට කන්දී  ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීම සහ ජනතාව පීඩනයට පත්කිරීමට හේතුවූ තමන්ගේ ක්‍රියාමාර්ග නිවැරදි කරගන්නවා වෙනුවට නැති ප්‍රචණ්ඩත්වයක් මවා පෙන්වා ජනතාව මර්දනය කරන්නට නම් තත්ත්වය තව තවත් බරපතළ වනවා මිස ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත.

ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරන ආකාරය අනුව පෙනෙන්නේ ඔවුනට අවශ්‍යව ඇත්තේ යම් යම් උප්පරවැට්ටි මගින් ජන විරෝධය වෙනතට යොමු කරන්නට මිස පොළොවේ පවතින යථාර්ථය තේරුම්ගෙන කටයුතු කරන්නට නොවන බව පෙනේ. එය ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කෙටි කාලයකට පමණක් වලංගු විය හැකි නමුත් රටේ අනාගතය සම්බන්ධයෙන් ගත් කල මාරාන්තික වන බවට කිසිදු සැකයක් නැත.

අනුර සූරියබණ්ඩාර

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *