අර්බුදය පුපුරා යාම දැන් වළක්වන්න බැහැ ; පිළිතුරු සොයන්න වෙන්නේ විනාශයෙන් පසුවයි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

රටේ පැවති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට තිබු අවස්ථා මග හැරීම නිසා මේ වනවිට අර්බුදය පුපුරා යාම වැළක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, දැන් තිබෙන්නේ විනාශයට මුහුණ දීමෙන් පසුව කළ යුතු දේ සඳහා සුදානම් වීම බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

දරුණු පිපිරීමක ස්වරුපයෙන් මෙම අර්බුදය පුපුරා යනු ඇති කියන විජේවර්ධන මහතා ඉන් පාසුව කිරීමට සිදුවන ප්‍රතිසංස්කරණ සහ ආයතන ගොඩ නැගීම සඳහා සමාජය සුදානමින් සිටිය යුතු බවත්, කියයි.

වර්තමාන තත්ත්වය පිළිබඳව ‘යුක්තිය” කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

මෙම අර්බුදය මොරා එන අවස්ථාවේ පිළියම් යෙදුවේ නම් මෙම විනාශය වළකාගත හැකිව තිබිණි. එහෙත් රජය එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අර්බුදය වළකා ගැනීමට ක්‍රියා කළේ නැත. දැන් අර්බුදය වැඩී ඇත්තේ පුපුරා යාමක් වළක්වාගත නොහැකි තත්ත්වයකය.

මෙම අර්බුදය තුළ දේශපාලඥයන් ඇතුළු සියලු දෙනා ක්‍රියා කරන්නේ තම තමන්ගේ ආත්මාර්ථය උදෙසා ය. ඔවුන්ට බණ කීමෙන් පලක් වන්නේ නැත. කළ යුතු වන්නේ එක් එක් කෙනාගේ ආත්මාර්ථය පොදු යහපත සඳහා යොදා ගන්නා ආකාරයට ආයතනික පද්ධති ගොඩ නගා ගැනීමට ක්‍රියා කිරීමයි.

සාමාන්‍ය ජනතාවගේ සාක්කුවට සහ බඩට පහර වැදුණු පසුව ආර්ථික විද්‍යාඥයින්ට කළ හැකි දෙයක් නැති වන බව ද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *