සජිත් කෝඳුරු තෙල් හත් පට්ටය ම ඉල්ලයි ; නව ව්‍යවස්ථා සංශෝධනයකට මිස 20 අහෝසි කරන්න සහය නොදේ

විසිවෙනි සංශෝධනය ඉවත්කිරීම නොව නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, විධායක අගමැති වරයෙකුට ද ඉඩ නොදිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ විසිවෙනි සංශෝධනය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ගැනීමේ උත්සාහය කඩා කප්පල් කිරීම සඳහා බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

සටන්කාමී කතාවක ස්වරුපයෙන් කතා කරමින් සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී කිවේ නව ව්‍යවස්ථා සංශෝධනයකට මිස 20 සංශෝධනය ඉවත් කිරීමට තම පක්ෂය සහය නොදෙන බවයි. එය සතියක් තුළ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ ද දේශපාලන අංශ කියන්නේ ඔහු එම යෝජනාව කළේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සතියකින් කළ නොහැකි බව දැන දැනම බවත්, එහි එක ම අරමුණ 20 සංශෝධනය අහෝසි කිරීමේ උත්සාහය ව්‍යර්ථ කිරීම බව පෙනී යන බවත් ය.

නව ව්‍යවස්ථා සංශෝධනයකට එකඟත්වයක් ඇතිකර ගැනීමට සහ කෙටුම්පත් කිරීමට කාලයක් ගතවෙයි. එමෙන් ම එවැන්නක් අධිකරණයේ අභියෝගයට ලක් වුවහොත් තවත් කාලයක් ගතවනු ඇත.

එසේ වුව ද , 19, 20 සංශෝධන දැනට ඇති අතර ඒවා පිළිබඳව අධිකරණයේ මතය ද ප්‍රකාශ වී සැලකිල්ලට ගෙන අවසන් ය. එබැවින් ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ගැනීමට ඉක්මන් සහ කෙටි මග වන්නේ 20 සංශෝධනය වහා ම අහෝසි කිරීමය. තවත් සංශෝධන අවශ්‍ය නම් පසුව කරගත හැකිය.

එසේ වුව ද, සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේ 20 සංශෝධනය අහෝසි කිරීමට සහය නොදෙන බවයි. නව සංශෝධනයක් ගැන කියමින් කල් ගත් විට සිදුවන්නේ ජනාධිපති බලය තව දුරටත් පැවතීම බව දේශපාලන අංශ කියයි.

එමෙන් ම තාවකාලික හෝ භාරකාර ආණ්ඩුවකට තමන් සම්බන්ධ නොවන බව සජිත් ප්‍රකාශ  කළේ ජනතාවගේ ඡන්දයෙන් පමණක් බලයට එන බව කියමින් ය. එහි ප්‍රතිඵලය වන්නේ රජයට බහුතරය නැති වුව ද, රජයට එරෙහිව ද බහුතරයක් හදන්නට කිසිවකුට සජබ  සහය නොලැබෙන බවයි.

ඒ අතර ගොටාභය ජනාධිපතිතුමා කීවේ කවුරුන් හෝ 113 පෙන්වන්නේ නම් ආණ්ඩුව භාරදෙන බවයි. ජනාධිපතිතුමා එසේ කියන්නේ 113 හදන්නට සජිත්ගේ සහය නොලැබෙන බවට සහතිකයක් ඔහුට ලැබී ඇති නිසා බව ඇතැම් දේශපාලන අංශවල මතය වී තිබේ.

එහි ප්‍රතිඵලය වන්නේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව ලැබීමයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් දේශපාලන අංශ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ තිබු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කොටි 2,400 කට අධික අක්‍රමවත් මුදල් පරිහරණයක් පිලිබඳ වාර්තා උපයෝගී කොටගෙන ආණ්ඩුවේ බලවතුන් සජිත් ප්‍රේමදාස මහතා ‘බ්ලැක්මේල්’ කරමින් මෙහෙයවන බවක් කලෙක සිට පෙනෙන්නට තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *