|

රුපියල වැට්ටූ බලධරයෝ – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

මේ විනිමය අර්බුදය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා නොකළ එකක් නොවේ. රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දෙන ලෙස ඔවුන් මීට මාස හත අටකට කලින් ආණ්ඩුවට දැනුම් දුන් නිසාය. එවකදී මහ බැංකුව රුපියලේ පාලනය අත්හැරියේ නම් ඩොලරයේ රුපියල් අගය ක්‍රමයෙන් ඉහළ යෑමට ඉඩ තිබිණි.

ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230 ත් 235 ත් අතර මිලකට පැමිණීමට හැකියාව තිබිණි. එහෙත් මහ බැංකුව දිගටම රුපියලේ පාලනය බලහත්කාරීව රඳවා ගෙන සිටීමෙන් අර්බුද ගණනාවක් පැන නැගිණි. මේ වන විට ඩොලරයක රුපියල් අගය 300 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එම අර්බුදවල ප්‍රතිඵලයක් ලෙසය.

ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230 ත් 235 ත් අතර මිලකට පැමිණීමට හැකියාව තිබිණි. එහෙත් මහ බැංකුව දිගටම රුපියලේ පාලනය බලහත්කාරීව රඳවා ගෙන සිටීමෙන් අර්බුද ගණනාවක් පැන නැගිණි. මේ වන විට ඩොලරයක රුපියල් අගය 300 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එම අර්බුදවල ප්‍රතිඵලයක් ලෙසය.

ඩොලරයේ අගය කෘත්‍රිමව පාලනය කළෙන් මෙරට සංචිත අඛණ්ඩව පිරිහුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළුවේය. විදේශ විනිමය කළමනාකරණය කර ගැනීම සඳහා තවදුරටත් විදේශ වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

එවැනි පසුබිමක් නිර්මාණය වී තිබියදී අප කළ යුතුව තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යෑමය. එහෙත් ඒ වෙනුවට මහ බැංකුව කළේ මේ වසරේ ජනවාරි මස 18 වැනි දිනට කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය මුදල සංචිත යොදා ගනිමින් පියවා දැමීමය. ඒ සඳහා රන් සංචිත ද යොදා ගෙන තිබිණි.

මේ පසුබිමේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමත් ඩොලර් කළු කඩ නිර්මාණය වීමත් සිදු විය. ආණ්ඩුව විසින් එම කළු කඩ පෝෂණය කරනු ලැබී යැයි කිව හැකිය. මේ වන විටද කළු කඩ ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකිව තිබේ. විදේශ ප්‍රේෂණ අපනයන මුදල් වැඩි වශයෙන් ගියේද කළු කඩවලටය. මෙපරිදි අර්බුදය උත්සන්න වීමට ඉඩ දීමෙන් පසු මහ බැංකුව රුපියලේ පාලනය අත්හැරියේය. එවිට අශ්වයා පැන ගොසින්ය. එබැවින් මේ වේලාවේ කළ යුතුව තිබුණේ රුපියලේ පාලනය අත්හැරීම වෙනුවට පාලනය පවත්වා ගෙන යෑමය. ඒ සියලු ව්‍යසන සිදුව තිබූ නිසාය.

මගේ නිරීක්ෂණය අනුව නිසි වේලාවේදී රුපියලේ පාලනය අත්නොහැර සියලු ව්‍යසන වන්නට ඉඩ දී සිට පසුව එය නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ යටි අරමුණු දෙකක් ඇතිවය. පළමුවැන්න නම් විවිධ අයථා ක්‍රමවලින් කළු ඩොලර් ඉපැයූ ආණ්ඩුවේ හිතවතුන්ට එම මුදල් සුදු කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීමටය. දෙවැන්න කිසිවකුගේ අවධානයට ලක් නොවූ කරුණකි. එනම් මෙරට ආර්ථික වර්ධන වේගය ධන 4 ක අගයක පවතින බව ලෝකයට පෙන්වීමට තිබූ අවශ්‍යතාවයි.

මගේ නිරීක්ෂණය අනුව නිසි වේලාවේදී රුපියලේ පාලනය අත්නොහැර සියලු ව්‍යසන වන්නට ඉඩ දී සිට පසුව එය නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ යටි අරමුණු දෙකක් ඇතිවය. පළමුවැන්න නම් විවිධ අයථා ක්‍රමවලින් කළු ඩොලර් ඉපැයූ ආණ්ඩුවේ හිතවතුන්ට එම මුදල් සුදු කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීමටය. දෙවැන්න කිසිවකුගේ අවධානයට ලක් නොවූ කරුණකි. එනම් මෙරට ආර්ථික වර්ධන වේගය ධන 4 ක අගයක පවතින බව ලෝකයට පෙන්වීමට තිබූ අවශ්‍යතාවයි.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලෝකයට පෙන්වන්නේ රුපියල්වලින් නොව ඩොලර්වලිනි. ඒ සඳහා එම අගය ඩොලර්වලට පරිවර්තනය කළ යුතුය. එවක පැවති නිල විදේශ විනිමය අනුපාතයෙන් එනම් රුපියල් 202 න් එය බෙදනවා වෙනුවට මේ වන විට ප්‍රකාශිත වෙමින් තිබෙන සැබෑ විනිමය අනුපාත අගයෙන් බෙදුව හොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහළ අගයක් ගනු ඇත. එසේ වූයේ නම් 2021 වර්ෂයේදී මෙරට ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ බව අනාවරණය වීමටද ඉඩ තිබිණි. මේ තත්ත්වය හෙළි වීම වැළැක්වීම පිණිස ඩොලරයේ රුපියල් අගය 202 ක මට්ටමේ පවත්වා ගෙන ගියේය.

විනිමය අනුපාතය කෘත්‍රිමව පාලනය කර අත්හැරිය පසු එය වේගයෙන් ඉහළ යෑම ඕනෑම රටක සිදු වන්නකි. යළිත් පහළ අගයක් ගැනීමත් නැවතත් අගය ඉහළ යෑමත් සිදුවීමටද පුළුවන. යම් කිසි අගයක ස්ථාවර වීමද සිදු වීමට පිළිවන. එහෙත් මේ මූලධර්මය ලංකාවේ සිදු වන්නේ නැත. එවැනි පසුබිමක ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ඉහළ යන බව පිළිගෙන ඊට හැඩගැසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

එහි බලපෑම මේ වන විටත් ජනතාවට දැනෙමින් තිබේ. අප ආනයනය කරන සෑම භාණ්ඩයකම මිල තවත් ඉහළ යෑම සිදු වෙයි. එම මිල වැඩිවීම් නිසා සෙසු අංශවල ගාස්තු ද වැඩි වෙයි. නිදසුනක් ලෙස ඉන්ධන මිල ගණන් ඉහළ යෑම නිසා කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය ආදී අංශ බොහොමයකට බලපෑම් ඇති වෙයි.

එසේම විදේශ විනිමය හිඟය තවත් උග්‍ර වනු ඇත. ඩොලරයේ රුපියල් අගය අඛණ්ඩව ඉහළ යන විට විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවත් දුර්වල වීමටද ඉඩ තිබේ. කොවිඩ් වසංගතය හමුවේ ප්‍රේෂණ ලැබීම් පහළ අගයක් ගත්තේ නැත. 2020 වර්ෂයේ එම අගය ඊට පෙර වසරේ ලැබීම්වලට වඩා ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව 2019 දී මුළු ප්‍රේෂණ ලැබීම් වශයෙන් වාර්තා වී තිබෙන්නේ ඩොලර් මිලියන 6717.2 කි. 2020 දී එම අගය ඩොලර් මිලියන 7103.9 දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් ඩොලරයේ රුපියල් අගය පාලනය කිරීම නිසා ප්‍රේෂණ ලැබීම් අඩු අගයක් වාර්තා විය.

2021 වසරේ පෙබරවාරි මස ප්‍රේෂණ ලැබීම් ලෙස ඩොලර් මිලියන 579.7 ක් වාර්තා වී තිබුණු අතර 2022 වසරේ සමාන්තර මාසයේදී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 204.9 ක් වශයෙනි. ඩොලරයේ රුපියල් අගය අඛණ්ඩව ඉහළ යෑම හමුවේ විදේශ ශ්‍රමිකයන් වැඩි මුදලක් ලබා ගැනීමේ අරමුණින් මුදල් එවීම පමා කිරීමට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බැංකු ක්‍රමයට ඩොලර් ගලා ඒම තවදුරටත් සීමා වනු ඇත. ඩොලර් වෙළෙඳපොළ ආශ්‍රිත කළු කඩ වෙළෙඳාම වර්ධනය වීමද අපේක්ෂා කළ හැකිය.

විදේශවල ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් මුදල් යැවීම ද අර්බුදකාරී වී තිබේ. පවතින ඩොලර් හිඟය නිසා නිල මාර්ගවලින් ඩොලර් මිලදී ගැනීම අසීරු කටයුත්තක් වී තිබෙන නිසාය. එය මේ අර්බුදයේ එක් මුහුණුවරකි. එහි තවත් පැතිකඩක් තිබේ. එනම් දැන් වැඩිපුර රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීමට සිදු වීමය. එබැවින් පිටරට ඉගෙන ගන්නා දරුවන්ට මුදල් යැවීම සඳහා ඔවුනගේ මවුපියන්ට වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට ද සිදුව තිබේ.

ණය හා පොලි වාරික වෙනුවෙන් සාමාන්‍යයෙන් අප වාර්ෂිකව ඩොලර් බිලියන 6.9 ක් ගෙවිය යුතුය. එසේම මේ වසරේ ජූලි මාසයේදී ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණයක් පියවීමටද තිබේ. ආනයන අපනයන පරතරය නිසා වසරේ සෑම කාර්තුවකදීම ඩොලර් මිලියන තුනක හිඟයක් ඇති වේ.

ඩොලර් හිඟය නිසා මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. ආණ්ඩුව මේ වන විට පැලැස්තර විසඳුමක් ක්‍රියාවේ යොදවමින් තිබේ. එනම් අත්‍යවශ්‍ය ආනයන කිරීමට ඉන්දියාව, චීනය වැනි රටවලින් ණය ගැනීමය. ණය යැයි කීවද එම මුදල්වලින් කළ හැක්කේ ඒවා ලබා දෙන රටවලින් භාණ්ඩ මිලදී ගැනීම පමණි.

මේ අවස්ථාවේ කුමන පාර්ශවයක් බලයේ සිටියද මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වෙයි. එහෙත් එය තාවකාලික පැලැස්තර විසඳුමක් පමණි. එයින් අපේ මූලික ප්‍රශ්නයට එනම් ඩොලර් හිඟයට පිළියම් ලැබෙන්නේ නැත. එසේම එම ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ගන්නා ණය වලින් වුව ආනයන වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදු වන නිසාය.

මේ ණය අර්බුදයට ඇති එකම විසඳුම ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමය. ප්‍රතිව්‍යුහගතකරණයට මෙපිට ඇති සියලු විසඳුම් ක්‍රියාවේ යොදවා ඇති නිසාය. මහ බැංකුව සතු රන් සංචිත ප්‍රමාණයද වැය කර ඇති අතර මේ වන විට එහි ඉතුරුව ඇත්තේ රන් සංචිත මිලියන 97 ක් පමණි. රත්‍රං ද ඇතුළුව අපේ සමස්ත සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 කි. එයින් වියදම් කළ හැකි මුදල් හැටියට තිබෙන්නේ ඩොලර් බිලියන දෙකක් පමණි. එබැවින් සංචිතවලින් කළ හැකි කිසිවක් නැත.

රටේ ආර්ථික මර්මස්ථානවල විදේශ ආයෝජනවලට ඉඩ දීමෙන් මුදල් ඉපැයීමේ ක්‍රමෝපායය ද තවදුරටත් යොදා ගැනීම අසීරුය. ඒවාට ද තවත් ඉඩක් නැති නිසාය. කොළඹ නගරයේ වටිනා ඉඩම් විකුණා මුදල් සෙවීම ද සාර්ථක උපාය මාර්ගයක් යැයි කිව නොහැකිය. ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු රටක මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයන් නොපැමිණෙන නිසාය.

කොළඹ නගරයේ වටිනා ඉඩම් විකුණා මුදල් සෙවීම ද සාර්ථක උපාය මාර්ගයක් යැයි කිව නොහැකිය. ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු රටක මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයන් නොපැමිණෙන නිසාය.

අපට තවදුරටත් වාණිජ ණය ගත නොහැකිය. ඒ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව වාණිජ ණය ගැනීමේ සීමාවෙන් පහළට ශ්‍රේණිගත කරන ලද නිසාය. ප්‍රශ්නය පැන නැගුණේ වාණිජ ණය ගත් නිසා නොව ඒවා ඵලදායී ලෙස ආයෝජනය නොකළ නිසාය.

මේ අර්බුදය විසඳීම සඳහා වත්මන් ආණ්ඩුව යටතේ ගත හැකි ක්‍රියාමාර්ග තිබෙන්නේ ස්වල්පයකි. ඒ අනුව කළ හැකි පළමුවැනි ක්‍රියාමාර්ගය නම් විදෙස් ණය හිමියන් සමග සාකච්ඡා කර ණය පියවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා ගැනීමය. තනි තනි රටවල් හෝ ආයතන හෝ සමග සාකච්ඡා කළ පමණින් එය කළ නොහැකිය. ඒ සඳහා ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතුය.

එහෙත් එම අරමුදලෙන් ණය ගත හැකි තත්ත්වයක ලංකාව නැත. මූල්‍ය අරමුදල ලංකාවේ තත්ත්වය ගැන නිරන්තර විපරමක සිටිමින් ලංකාව සමග සිටින්නේය යන පණිවුඩය ජාත්‍යන්තරයට දුන හොත් අපට ණය දුන් විදේශ රටවල් හා ආයතන එම ණය ප්‍රතිව්‍යුහගතකරණයකට කැමැත්ත පළ කිරීමට ඉඩ තිබේ. මූල්‍ය අරමුදල වෙත යා යුතු යැයි කියන්නේ මේ නිසාය.

ඩොලර් වැය වෙන මාර්ග විශාල වශයෙන් අවහිර කර තිබේ. මගේ නිරීක්ෂණය අනුව වත්මන් ආණ්ඩුව ගත් එකම සබුද්ධික ක්‍රියාමාර්ගය රථවාහන ආනයනය නතර කිරීමට ගත් තීරණය පමණි. එහෙත් අපනයන වර්ධනයට ආනයන සීමා බාධාවකි. ඒ අපේ අපනයනවලට අවශ්‍ය ඇතැම් ද්‍රව්‍ය ආනයනය කරන නිසාය. අපනයන ඉපැයුම් වර්ධනය කිරීම හැර කළ හැකි අන් කිසිවක් නැත. එසේම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර ගැනීමද වැදගත්ය. බලශක්ති අර්බුදය විසඳන තෙක් ඒ දෙකම කිරීම අපහසුය.

මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය කර ගැනීමට නම් ඩොලරයේ හුවමාරු රුපියල් අගය ස්ථායීකරණයට මහ බැංකුව පියවර ගත යුතුය. එසේ නොවුණ හොත් සිදු විය හැක්කේ විදේශ ශ්‍රමිකයන් රටට ඩොලර් එවීම තවදුරටත් පමා කිරීමය.

මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය කර ගැනීමට නම් ඩොලරයේ හුවමාරු රුපියල් අගය ස්ථායීකරණයට මහ බැංකුව පියවර ගත යුතුය. එසේ නොවුණ හොත් සිදු විය හැක්කේ විදේශ ශ්‍රමිකයන් රටට ඩොලර් එවීම තවදුරටත් පමා කිරීමය.

මේ ආණ්ඩුව හා තට්ටු මාරු දේශපාලනයෙන් කළ නොහැකි විසඳුමක්ද තිබේ. කළ යුත්තේද එයයි. එනම් අල්ලස්, දූෂණ හා වෙනත් නීති විරෝධී ක්‍රම මාර්ගයෙන් උපයා ගත් මහා ධනස්කන්දය අත්පත් කර ගැනීමය. ඒවා ඩොලර් ලෙස පිටරටවලද රුපියල් වශයෙන් මෙරටේ ද ඇති අතර ඒවා අත්පත් කර ගත හොත් මේ අර්බුදය විසඳීම පහසුය. එහෙත් බලයට පත් වන කිසිදු ආණ්ඩුවක් ඒ සඳහා පියවර ගන්නේ නැත.

ආණ්ඩුව පළමුව අවංක විය යුතුය. අර්බුදය විසඳීමට සැබෑ වුවමනාවක් තිබිය යුතුය. එසේම ඒ වෙනුවෙන් ජනතා සහාය ලබා ගත යුතුය. මේ අර්බුදය අපේ ජාතික ප්‍රශ්නයක් ලෙස ජනතාව පරිකල්පනය කළ යුතය. කොවිඩ් වසංගතය අවස්ථාවේ ජනතාව එය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගනිමින් ඊට මුහුණ දීම අරබයා කැපකිරීම් කළහ. එහෙත් මේ ඩොලර් ප්‍රශ්නය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද්දක්ය යන සත්‍යය වැසිය නොහැකිය. එබැවින් ජනතාව මෙය සලකන්නේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් ලෙසය. ජනතා සහාය නොලැබෙන්නේ ද ඒ නිසාය.

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

සටහන උපුල් වික්‍රමසිංහ

ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *