මෙම වසරට තෙවැනි අයවැයත් එයි ; මෛත්‍රීගේ යෝජනාව රනිල් ස්ථිර කරයි ; බැසිල් එකඟ වෙයි

‍2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින්  කළ යෝජනාව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද අනුමත කිරීමෙන් පසුව මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා එයට එකඟත්වය ප්‍රකාශ කළේය.

මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපා දැමිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.

එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙන ඒමට තමන් සූදානම් බවයි.

නොඅවම්බර මාසයේ පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ඇමතිවරයා පසුගිය ජනවාරි මුල් සතියේ තවත් සහන පැකේජයක් ඉදිරිපත් කළේ කලින් ඉදිරිපත් කළ අයවැයට අමතරව ය.

ඒ අනුව මේ ගෙන එන්නට යන්නේ මේ වසරේ අයවැයේ තෙවන සංශෝධනය යි.

මේ මොහොතේ රජයේ අනවශ්‍ය වියදම් මෙන් ම හදිසි නොවන වියදම් ද කපා හරිය යුතු බව විද්වතුන් , මහ නා හිමිවරුන් ඇතුළු බොහෝ දෙනා පෙන්වා දී තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *