තාක්ෂණික කමිටුවකට වැඩේ භාරදෙන්නැයි ආර්ථික උපදේශක කමිටුව කියයි

විදේශ විනිමය අර්බුදයට සහ ණය අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කිරීම ඒ සඳහා තාක්ෂණික දැනුම ඇති  මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ කණ්ඩායමකට භාරදිය යුතු බව ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කළ උපදේශක සභාව නිර්දේශ කොට ඇත.

එමෙන් ම මුදල් ඇමතිවරයාට උපදෙස් දීම සඳහා ද විශේෂඥ කණ්ඩායමකගේ අවශ්‍යතාවය උපදේශක සභාව පෙන්වා දෙයි.

එමෙන් ම මුල්‍ය උපදේශකයකු සහ නීති උපදේශකයකු වහාම පත්කළ යුතු බව ද එම කමිටුව කියයි.

ජාතික ආර්ථික සභාව සහ උපදේශක කමිටුව අතර අද පැවති හමුවක දී කඩිනමින් ගත යුතු පියවර පිලිබඳ තම යෝජනා ඉදිරිපත් කරමින් උපදේශක සභාව ප්‍රධාන යෝජනා පහක් ඉදිරිපත් කොට තිබේ.

එම යෝජනා වන්නේ

  1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
  2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
  4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
  5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වනදා පත්කරන ලදී.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති  මෙම හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *