ජනාධිපති කැඳ වූ සර්ව පාක්ෂික සමුළුව පක්ෂ රැසක් වර්ජනයේ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව පක්ෂ රැසක් මේ වන විට ප්‍රකාශ කොට ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇති අතර සමගි ජන බලවේගයට සම්බන්ධ සෙසු පක්ෂ ද එයට සම්බන්ධ නොවන බව වාර්තා වී ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මහත්වරුන් සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇති අතර ඔවුන්ගේ පක්ෂ 10 ක සන්ධානය වෙනුවෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් සමුළුවට සහභාගී වන බව වාර්තා වී ය.

මෙබඳු සමුළුවක අවශ්‍යතාවය තමන් පෙන්වා දුන්නේ වසර එක හමාරකට පෙර බවත්, දැන් එම අවස්ථාව ඉක්මවා ගොස් ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන් ම සාකච්ඡාවන්ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකසා ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *