ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ හයකට ජීවනෝපාය අහිමි වෙලා – ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය

ගොඩනැගිලි ද්‍රව්‍යවල ඉහළ යන මිල සහ හිගය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය සියයට 50 කින් පමණ කඩා වැටී ඇති බවත්, එයින් ලක්ෂ හයක් පමණ පිරිසකට තම ජීවනෝපාය අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කරයි. මෙම පිරිස සමාජයේ පහළ ම ආදායම් ලබන පිරිසක් බව ද එම සංගමය පෙන්වා දෙයි.

සමාජයේ පහළ ආදායම් ලබන පවුල්වල ලක්ෂ දොළහක තරම් පිරිසක් ගොඩනැගිලි ක්ෂේත්‍රයේ රැකියා කරන බවත්, මේ වන විට ඉන් ලක්ෂ හයකට රැකියා අහිමිව ඇති බවත් එම සංගමය කියයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දිගින් දිගට ඉහළ යාම සහ ඉහළ මිලට හෝ භාණ්ඩ ලබාගත නොහැකි වීමයි.

සිමෙන්ති කොට්ටයක මිල ජනවාරි මාසයේ රුපියල් 100 කින් ද පෙබරවාරි මාසයේ 125 කින් ද මාර්තු මාසයේ 350 කින් ද ඉහළ ගොස් ඇති අතර අනෙක් සියලු භාණ්ඩ මිල ද එලෙස ම ඉහළ ගොස් තිබේ.

එම මිලට ද සිමෙන්ති ලබා ගැනීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසල් අසල පෝලිම් ගැසී බලා සිටීමට සිදු වී තිබේ.

ඉදිකිරීම් සංගමය පවසන්නේ භාණ්ඩ මිල එලෙස ඉහළ යන විට තම කරමාන්තය කරගෙන යා නොහැකි වන බවයි.

ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියන ආරච්චි මහතා මෙම තොරතුරු හෙළිදරව් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *