අයි එම එෆ් නවත්තපු තැනින් පටන්ගනී ; ජනාධිපති ගොටාභය කැපු බදු යලි පනවන්න කියයි

රජයට මුදල් ලබා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම නවතා බදු වැඩි කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇති බව වාර්තා වන අතර ඒ අනුව ක්‍රියා කරන්නේ නම් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස විශාල ලෙස අඩු කළ බදු නැවත පැනවීමට සිදුවනු ඇත.

ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගන්නා අවස්ථාව වන විට මෙරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර ඔවුන්ගේ උපදෙස් මත රජයේ ආදායම් වැඩි කර ගැනීමට පනවා තිබු බදු, ජනාධිපති පත් වූ වහා ම විශාල ලෙස අඩුකරන ලද්දේ මුල්‍ය අරමුදලෙන් විමසීමක් හෝ නොකරමිනි.

ඒ සමග මෙරට ක්‍රියාත්මක වූ මුල්‍ය අරමුදලේ වැඩ සටහන රජය ඒක පාර්ශවිකව ඉවත දුමු අතර මුල්‍ය අරාමුදල එකඟ වී සිටි මුදලේ අවසන් වාරිකය ගෙවීම ද ඒ අනුව නතර කරනු ලැබී ය.

එම අවස්ථාවේ විශාල ලෙස බදු කපා හැරීමෙන් ඇති වූ ආදායම් හිගය පියවන ලද්දේ මහ බැංකුව විශාල ලෙස මුදල් අච්චු ගසා  වෙළෙඳපොළට නිකුත් කිරීම මගිනි.

මුල්‍ය අරමුදල දැන් යළි කියන්නේ මුදල් මුද්‍රණය නවතා බදු අනුපාත ඉහළ නංවන ලෙසයි. එය ගොටාභය රාජපක්ෂ ජනාධිපති විසින් නවතා දැමු මුල්‍ය අරමුදලේ වැඩ සටහනට ආපසු යාමකි.

එමෙන් ම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රවල වියදම් අනුව මිල නියම කිරීමට ද යෝජනා කොට ඇති අතර ඒ අනුව ඉන්ධන මිල සුත්‍රයක් ද අලුතින් හඳුන්වා දීමට සිදුවනු ඇත.

ඒ අනුව වාර්තා වන්නේ ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.

බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇති අතර එම නිර්දේශය රජය මේ වන විට ක්‍රියාවට නංවා ඇත. එය ද ඩොලරයේ මිල පාලනයට දරු උත්සාහය අතහැර පෙර තිබු තත්ත්වයට ආපසු යාමකි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *