අර්ජුන් ගේ ප්‍රශ්නය ජනපති හා අගමැති අතට ගනී !

දින ගනනාවකට පෙර ජනාධිපතිවරයා සමග පුරවැසි බලය පැවත් වූ සාකච්ඡාවකට අනුව දුෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම හා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය අගමැතිවරයා ගේ ද සභාගිත්වය ඇතිව 17වෙනි දින ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇති අතර පුරවැසි බලයට අමතරව බොරදියේ මාළුබාන කණ්ඩායමක් ද එම සාකච්ඡාවට රිංගවා තිබුණු බව යුක්තියට වාර්තා වේ. කෙසේ නමුත් සාකච්ඡාව අවසානයේ දී මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය ජනාධිපතිතුමා සමග සාකච්ඡාකර අවසාන තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා පුරවැසි බලයේ නියෝජිතයින් පිරිසට පැවසූ බව දැනගන්නට ඇත.
මහබැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය මත අගමැති රනිල් වික්‍රමසිංහ බිත්තියට හේත්තු කිරීමේ සැළසුමකට අනුව බොරදියේ මාළුබාන කණ්ඩායමේ නම් ලැයිස්තුව සකස්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින රනිල්ට එරෙහි පිරිසක් බව වැඩි දුරටත් දැනගන්නට ඇත. මේ අවුල තේරුම්ගත් පුරවැසි බලයේ නියෝජිත පිරිස දෙගිඩියාවකින් නමුත් අවසානයේ සාකච්ඡාවට සහභාගි වී ඇත.
දුෂිතයින් සම්බන්ධයෙන් කල් නොයවා නඩු ඇසීම සඳහා පවතින නීති රාමුව තුළම විශේෂ අධිකරණයක් පිහිටුවීමට අගමැති හා ජනාධිපති එකග වු බව දැනගන්නට ඇත. පුරවැසි බලයේ නියෝජිතයින්ගේ ඊ ළග යෝජනාව වී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව ය. එම යෝජනාවෙන් කියා ඇත්තේ මහ බැංකු අධිපතිවරයා තනතුරෙන් ඉවත් වී ස්වාධීන පරික්ෂණයක් පැවැත්වීම සුදුසු බව ය. එම කාලය තුළ වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත්කළ හැකි බව ද මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පෙන්වා දී තිබේ. පෙර දින පැවැත් වූ සාකච්ඡාවේ දී ද පුරවැසි බලයේ නියෝජිතයින් මෙම යෝජනාව අගමැතිවරයාට ඉදිරිපත් කළබව දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර තීන්දුව දැනුම්දෙන බව අගමැතිවරයා පවසා ඇත්තේ මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. තවත් ආරංචි මාර්ගයකට අනුව දැනගන්නට ඇත්තේ පුරවැසි බලයේ උක්ත යෝජනාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ද පැසසුමට ලක් වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *