පුරවැසි රැස්වීම ගැන ජනපති/අගමැති කළබල වේ !

රාජපක්ෂ පාලන යුගය තුළ සිදු වූ දූෂණ, වංචා හා මිනිමැරුම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට බාධාවක් වී ඇති ආණ්ඩුවේ දේශපාලන අත පෙවීම් මෙන්ම මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් එහි අධිපති අර්ජූණ මහේන්ද්‍රන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය එක්ව ජූනි 21 වෙනි දින ප්‍රසිද්ධ රෑස්වීමක් පැවැත්වීමට තීරණය කිරීමත් සමග ජනාධිපතිවරයා හා අගමැතිවරයා මහත් සේ කළබලයට පත් වී සිටින බව යුක්තියට වාර්තා වේ.
දැන ගන්නට ඇති ආකාරයට 15වෙනි දින අගමැතිවරයා උක්ත සංවිධාන දෙකේ නියෝජිතයින්ව සාකච්ඡාවකට කැඳවා ඇති නමුත් ඔවුන් එම ආරාධනය නොසළකා හැර තිබේ. එයින් පසුබට නොවු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම මාධ්‍ය අධ්‍යක්ෂ මගින් 16 වෙනිදා එනම් අද පෙරවරු 10.30ට අරලියගහ මන්දිරයේ දී තමාව හමුවන ලෙස පුරවැසි සංවිධාන නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇති බව ද වාර්තාවේ. දැනගන්නට ඇති ආකාරයට අගමැති තනතුරට ගරු කිරීමක් වශයෙන් දෙවැනි ආරාධනය මොවුන් පිළිගෙන තිබේ.
පුරවැසි රැස්වීම 21වෙනිදා පැවැත්වීමට තීන්දු කළ දිනට පසු දින ජනාධිපතිවරයාගෙන් ලැබුණු ආරාධනයකට අනුව පුරවැසි සංවිධාන නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ජාවක් පැවැත් වූ බව යුක්තිය මීට දින කිහිපයකට පෙර වාර්තා කළේ ය. තමන් ඉදිරිපත් කරන පැමිණිලි වලට විසඳුම් ක්‍රියාත්මක කරනවා වෙනුවට නායකයින් දෙදෙනා එකිනෙකාට බෝලය පාස්කරනවා හැරෙන්නට මෙතෙක් පවත්වා ඇති සාකච්ඡා වලින් කිසිවක් සිදු නොවු බව නියෝජිත පිරිස ජනාධිපතිවරයාට එම රැස්විමේ දී පෙන්වා දී ඇත.
එයට ප්‍රතිකර්මයක් වශයෙන් ජූනි මස 17වෙනි සිකුරාදා ජනාධිපති, අගමැති හා උක්ත සංවිධාන දෙකේ නියෝජිතයින්ගේ හමුවක් පැවැතිවීමට තීරණය වී තිබේ. අගමැතිවරයා අද පැවැත්වෙන් මේ රෑස්විම කැඳවා ඇත්තේ 17වෙනිදා පැවැත්වෙන රැස්වීම එසේ තිබිය දී ම ය. විශේෂයෙන්ම 17වෙනිදා ජනාධිපතිවරයා ද සහභාගි වන එම රැස්වීමට ප්‍රථම මහ බැංකු අධිපති අර්ජුණන මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනාව පුරවැසි සංවිධාන සමග බේරාගැණිමේ උපායකට අනුව අද රැස්වීම අගමැතිවරයා කැඳවා ඇතැයි කියැවේ.
මේ පිළිබඳව යුක්තිය කළ විමසීමකට පිළිතුරු දුන් පුරවැසි සංවිධාන නියෝජිතයෙකු පැවසුවේ, යහපාලන ආණ්ඩුවේ නායකයින් වන අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ජනතාවගේ විශ්වාසය දැන් අවශ්‍ය නොවන්නට පුළුවන් වන නමුත් තම සංවිධාන කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය නැතිකර ගැනිමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවයි. දුෂිතයින් හා වංචනිකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම වැළක්වීමට මෛත්‍රි/රනිල් ආණ්ඩුව ගන්නා උත්සහායන්ට එරෙහිව 21වෙනි දින කොළඹින් ආරම්භ කරන එම රෑස්වීම් මාලාව කිසිසේත්ම නතර නොකරන බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *