රුපියල පා කර නැහැ , නව පාලන මිලටත් ඩොලර් නැහැ

රුපියල පා කර ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළ ද එවැනි තත්ත්වයක් වෙළෙඳ පොළේ නැති බවත්, මහ බැංකුව නියම කොට ඇති රුපියල් 230 ට අඩුවෙන් ඩොලර් මිල දී ගන්නට ගැනුම් කරුවන් ඉදිරිපත් වුව ද , එම මිලට ඩොලර විකිණීමට සැපයුම් කරුවන් නොසිටි බවත්, වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.

වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් මිල රුපියල් 230 ක් ලෙසත්, ගැනුම් මිල ලෙස රුපියල් 220 සිට 227 දක්වා විවිධ ආගයනුත් බැංකු විසින් ප්‍රදර්ශනය කොට තිබිණි. එහෙත් එම මිල යටතේ ගනුදෙනු සිදු වී නැත.

රුපියල පා කර ඇතැයි මහ බැංකුව කීව ද , මහ බැංකුව රුපියල් 230 ක උපරිම මිලක් නියම කොට තිබු නිසා එම මිල ඉක්මවා යාමට බැංකු ඉදිරිපත් වී නැත.

මේ පිළිබඳව විමසුමක දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේ රුපියල් 230 යනු මග පෙන්වීමේ මිලක් පමණක් බව යයි “ඉකොනොමි නෙක්ස්ට්” වෙබ් අඩවිය වාර්තා කොට තිබිණි.

රුපියල පා කිරීමකින් තොරව ඩොලරයට අලුත් මිලක් නියම කිරීමෙන් ඩොලර් අර්බුදය නොවිසඳෙන බවත්, එවිට සිදු වන්නේ කළු කඩ මිල තවත් ඉහළ යාම පමණක් බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කළ බව ද, එම වෙබ් අඩවිය වාර්තා කොට තිබිණි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණ වීම වැළක්වීමට පොලී අනුපාත තවත් ඉහල දැමිය යුතු බව ඒ මහතාගේ මතය වී තිබේ. මහ බැංකුව පසුගියදා කළ ඉහළ දැමීම් ප්‍රමාණවත් නැති බව ඒ මහතාගේ අදහස වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *