ශ්‍රී ලංකාවට චීනයත් නෑ ; ඉන්දියාවත් නෑ

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දී ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටි චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක ම මේ වන විට අමනාප වූ තත්ත්වයට පත්ව ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

චීන පොහොර නැව පිලිබඳ ප්‍රශ්නයෙන් අමනාප වී සිටි චීනය මධ්‍යම අධිවේගයේ තුන්වන අදියර සනහා අඩු මිලක් ඉදිරිපත්කොට තිබු චීන සමාගමට කොන්ත්‍රාත්තුව නොදී වෙනත් සමාගමකට දීමෙන් බලවත් සේ අමනාප වී ඇති බව වාර්තා වෙයි. මේ නිසා තව දුරටත් ශ්‍රී ලංකා රජයට ආධාර නොදෙන බව චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රකාශ කොට ඇති බව ද දැනගන්නට ඇත.

ඉන්දියාව මේ වනවිට ඩොලර් මිලියන 500 ක ණය ලබාදීම, ගෙවන්නට තිබු ණය සඳහා කාලය දීර්ඝ කිරීම ඇතුළු ආධාර ලබා දෙමින් සිටින නමුත්, ශ්‍රී ලංකා රජය ඔවුන් සමග ඇති කර ගන්නා එකඟතා ක්‍රියාත්මක නොකිරීම නිසා කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි. එබැවින් ඔවුන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ප්‍රමාද වෙමින් පවතින බව කියති.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට විසඳුම් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා ඇති ඉන්දියාව එසේ නොකරන්නේ නම් අර්බුදයට මුහුණ දීමේ විධිමත් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව එම ඉල්ලීම් එකකට වත් තවමත් ප්‍රතිචාර දක්වා නැත.

මේ තත්ත්වය යටතේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය ද කල් දමා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගින් දිගට විරුද්ධ වීමත්, රුපියලේ අගය කෘතීම ලෙස ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තිය අත් නොහරීමත් ඉන්දියාවේ ඉල්ලීම් ඉටු කිරීමට බාධා වී ඇති බව ද කියති.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට චීනයේ මෙන් ම ඉන්දියාවේ සහය ද අහිමි වන තත්ත්වයක් වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *