නායකයින්ගේ දේශපාලන වුවමනාවන්ට යුද්ධ කරන්න දෙන්න බැහැ, ආසියානු රටවල් මැදිහත් විය යුතුයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රුසියාව යුක්රේනය ආක්‍රමණය වැරදි වන අතරම එයට හේතු වුයේ ඇමෙරිකානු වත්මන් ජනාධිපති බයිඩන් සහ බ්‍රත්න්යයේ බොරිස් ජොන්සන් ප්‍රමුඛ යුරෝපීය නායකයන්ගේ වැරදි විදේශ ප්‍රතිපත්ති බවත්, දැන් ඔවුන් යුද්ධය මෙහෙයවන්නේ තම තමන්ගේ රටවල තම දේශපාලන ප්‍රතිරූපය ඉහල නව ගැනීමට බවත්, කියන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කොයන්නේ යුද්ධය නැවත්වීමට ආසියානු රටවල් මැදිහත් විය යුතු බවයි.

මෙම යුද්ධයෙන් අපරට හෝ ආසියාව පමණක් නොව මුළු ලෝකයට ම විශාල විනාශයක් අත්වන නිසා මෙය යුරෝපීයයන්ගේ යුද්ධයක් ලෙස සලකා නිහඬව සිටිය නොහැකි බවත්, මේ වනවිට සැලකිය යුතු බලයක් ගොඩ නගාගෙන සිටින ආසියාව එක්සත්ව ස්වාධින බලයක් ලෙස එයට මැදිහත් විය යුතු බවත් ඒ මහතා කියයි.

ආසියාන් හි සභාපතිත්වය දරන ඉන්දුනීසියාව මුල් වී ආසියානු රටවල සමුළුවක් කැඳවා පෙරමුණ ගතහොත් අප්‍රිකානු රටවල් ද එයට සහය දෙනු ඇතැයි වික්‍රමසිංහ මහතා කියයි.

ලෝකයම අනතුරට හෙළා යුද්ධ කිරීමට යුරෝපීයයන්ට ඉඩ නොදිය යුතු බවත්, ස්විෆ්ට් වැනි ගෝලීයකරණයේ උපාංග යුරෝපීයයන්ගේ යුද්ධමය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට විරුද්ධ විය යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම යුද්ධය ගෝලීය ආර්ථිකය තුළ බටහිර ආධිපත්‍යය දුර්වල කරනු ඇති බවත්, ආසියානු ජාතීන්ට වෙනත් විකල්ප ක්‍රම සොයාගැනීමට සිදුවනු ඇති බවත් එජාප නායකයාගේ අදහස වී තිබේ.

අන්තර්ජාල අඩවියක සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *