ගෝලීය අවපාතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

රුසියානු-යුක්රේන යුද්ධයෙන් මුළු ලෝකයම අවපාතයකට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ශ්‍රී ලංකාව ද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතු බව අද ප්‍රකාශ කළේය.

“ආණ්ඩුව මේ තත්ත්වය දෙස ඇස් කන් පියාගෙන නොසිටිය යුතුයි. මතුවිය හැකි ගෝලීය අවපාතයකට මුහුණ දීමට ජාතිය සූදානම් කළ යුතුයි,” විජේවර්ධන මහතා සිරිකොත එජාප මූලස්ථානයේ පැවති තරුණ හමුවක දී පැවසීය.

“ඉතිහාසයේ නරකම විය හැකි අවපාතයකට ලෝකය තල්ලු වෙමින් තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු ගෝලීය අවපාතයක සලකුණු මතු වී තිබෙනවා. රුසියාව යුද්ධය සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වැය කරන බව පැවසේන අතර  ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් යුක්රේනයට හමුදා උපකරණ සපයනවා. ඒ අනුව මුළු ලෝකයේ ම මුල්‍ය ශක්තිය මේ ක්‍රියාවලියේදී යොදා ගන්නවා.”

“රුසියානු තෙල් හා ගෑස් ගෝලීය වෙළෙඳපොළට ගලා නොයන බැවින් බොහෝ රටවල් අරාබි කලාපයෙන් වැඩි තෙල් හා ගෑස් ඉල්ලා සිටිනු ඇත.. අතිරික්ත ඉල්ලුම තවදුරටත් මිල ඉහළ යාමට හේතු විය හැකියි ” ඔහු වැඩිදුරටත් පැවසීය.

“2014 වසරෙන් පසු බොරතෙල් සඳහා ඉහළම මිල මෑතදී වාර්තා වූ අතර එය ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියා. ගෝලීය විශේෂඥයින් පවසන පරිදි 2022 මාර්තු මැද වන විට බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. තෙල් මිල වැඩිවීමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩවල මිල ඉහළ යනු ඇති. බොහෝ රටවල් අවපාතයකට සූදානම් වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබුණත් ශ්‍රී ලංකාවෙන් එවැනි සූදානමක් අපට දැකගත නොහැකි බව” ඔහු පැවසීය.

විදේශ විනිමය  ගැටලුව විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය ගත් තීරණය ප්‍රමාද වූ බව විජේවර්ධන මහතා කියයි. “අශ්වයා පලා ගිය පසු රජය ඉස්තාලය වසා දමා තිබෙනවා “යි ද විජේවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *