ජවිපෙ අත ඉස්සුවේ රටම දන්නා පට්ට හොරුන්ගේ විශ්වාස භංගයට ! (2වැනි කොටස) ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මෛත්‍රි හා රනිල් ගේ හැසිරීම් තුළින් ජනතාවට පේනවා මොවුන් පිරිසිදු නායකයින් බව. ලිබරල් සංකල්පය තුළ සිටින ඒ දෙදෙනා තරගයක සිටිනවා පමණක් නොව පිළිගත් නායකයෝ හැටියට සිටිති. නමුත් ලිබරල්වාදය කියන්නේ පිරිසිදුකම පිළිබඳ ප්‍රශ්නයක් ම නොවේ. ලිබරල්වාය තුළ තිබෙන්නට ඕනේ අඩුතරමේ ඒකාධිපතිවාදය සම්පූර්ණයෙන්ම සමතලා කිරීම සහ බලය බෙදා රට එක්සත් කිරීම යන කාරණා දෙක. ඒ අනුව රාජ්‍ය යන්ත්‍රණය ම ප්‍රජාතන්තාවාදි කරණයකට ගෙනයෑම සහ විවිධාකාරයට සංකේන්ද්‍රණය වූ බලයන් කඩා බිඳ දමා නීතිගත රාජ්‍ය යන්ත්‍රණයක් හැදිය යුතුයි. මේවා සම්බන්ධයෙන් ගත්කළ රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන් සිටින බව පෙනේ. මෛත්‍රිපාලත් ඒවා හඳුණාගනිමින් ඉදිරියට එමින් සිටියේ ය. ඇත්තටම ඔහුට එවැනි පසුබිමක් නැත. එතුමා ආපස්සට ගොස් බණ්ඩාරනායක මහතා මුහුණ දුන් ආකාරයට ජාතික ප්‍රශ්නයට මුහුණදෙමු කියනවා වාගේ අදහසක ඉන්නේ. රාජ්‍ය යන්ත්‍රණය තුළ තිබුණු කුමන්ත්‍රණකාරි ස්වභාවයන් පිළිබඳව කල්පනාකර නොයෙකුත් අළුත් කිරීම් සිදුකර ඇත. නමුත් මේ අදහස තුළ ඉඳිමින් ඉදිරියට යන්නට පුළුවන්කමක් නැත.
මෙතන කථාකරන පිරිසිදු, දූෂණයෙන් තොර කියන කරුණ පමණක් නොවේ වැදගත් වන්නේ. දූෂණය කියන එක නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පැහැදිළිවම ජාතිවාදි, ආගම්වාදි, වර්ගවාදි නොවී සියළුම මනුශ්ෂ්‍යයන් එකතුකර ගනිමු කියන උත්සහාය සහ නිළධාරිවාදි නොවන රාජ්‍ය යන්ත්‍රණයක් ගොඩනැගීම ය. එහි දි දූෂණයත් අනිවාර්යයෙන් ම අඩුවිය යුතු ය. නමුත් දූෂණය කියන එකට යම් සම්බන්ධයක් ඇති නමුත් ජාතික ප්‍රශ්නය ගැන හොඳ අදහසක සිටින නායකයෙකු සිටින්නේ නම් මම එයාට කැමති වෙනවා දූෂණයෙන් තොර හොරකම් නොකරන පිරිසිදු ජාතිවාදියෙකුට වඩා. මිත්‍යමතයන් දරන ජාතිවාදය හා දුෂණය අතර තෝරාගැනීමක් පැමිණියහොත් මම තෝරා ගන්නේ දූෂණය කියන පැත්ත. දුෂණය යන්න හොර හිතකින් කරන දෙයකි. ඒක හදාගන්නට පුළුවන් දෙයකි. මෙතන දූෂණයට විරුද්ධව උද්ඝෝෂණය ගෙනයන අතරම ජාතිවාදයට හා ආගම්වාදයට මෙන්ම ඒකාධිපතිවාදයට විරුද්ධවිම කියන එක හැමවිටම මතු කළයුතු ය.
මට පෙනෙනවා දැන් යන මේ උද්ඝෝෂණයන් තුළ හුගක්ම බර දාන්නේ දූෂණයන් ගැන. මෙහෙම වන විට දරුණු ජාතිවාදීන් පැමිණ පිරිසිදු මිනිසුන් ලෙස වැඩකරති. එවිට අපිට නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරයක් ගොඩනගන්නට නොහැක. ඒ නිසා දූෂණය කියන එක සම්බන්ධයෙන් තුළනාත්මක සාකච්ඡාවක් ගතයුතුව ඇත. මෙයින් හොරු අල්ලන එක නවත්වන්න කියනවා යැයි අදහස් කරන්නේ නැත. රට කෑ නොම්මර එකේ මිනිසුන් ටික අල්ලා ගන්නට අවශ්‍ය ය. නමුත් අපේ පැත්තට දූෂිතයෝ ඇවිල්ලා සිටිනවා කියන එකත් අපි හරි ආකාරයට වටහාගත යුතු ය. මෛත්‍රිපාලගේ පැත්තට පැමිණ සිටින ඒ දුෂිතයින් දුර්වල වී වැටුණොත්, මෛත්‍රිපාලට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය අඩුවේ. එවිට එතන බලතුලනය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන්නට ඉඩ තිබේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදි ඉදිරිගමනට හානිකර ය. දූෂණ ආරක්ෂා කරන්නට මා කථාකරනවාය යන වැරදි අවබෝධයක් මෙයින් ඇති නොකර ගතයුතු ය.
දූෂණය නැති කරන්නට ගොස් අපි ජාතිවාදින් කරේ තියාගෙන යන්නට අවශ්‍ය නැත. උදාහරණයකට නලීන් ද සිල්වා ගතහොත් ඔහු කවදාකවත් දූෂිතයෙකු නොවේ. එළවළුයි බතුයි කාලා ජීවත් වෙන චරිතයකි ඔහු. නමුත් ඔහු දරණ මතවාදය ඉතාම බිහිසුණු, පරාජය කළයුතු මතවාදයකි. ඒ නිසා පරාජය කරන්නේ මොකද්ද යන්න සාකච්ඡාකර තීරණයකට පැමිණිය යුතුයි කියන තැනක මා ඉන්නේ.
මෙයට අමතරව ආණ්ඩුවේ මේ බදු ගැසීම පිළිබඳව ද යමක් පැවසිය යුතු ය. ආණ්ඩුව කම්කරු පංතියේ වැටුප් වැඩිකිරීමට උත්සහායක් දරා ඇත. මෙහි දි කම්කරුවන්ට වැටුප් වැඩිකළා පමණක් නොව ගැස්, භූමි තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩුකර ඇත. ඊ ළගට ආණ්ඩුව හරි ආකාරයට ආර්ථිකය තුළනය කරගන්නේ නැති නම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි දෙන්නේ නැත. මූල්‍ය අරමුදල හැම වෙලාවේම කියන්නේ බහුතර ජනතාවත් මේකට කරගැසිය යුතු බව ය. ඉහළම ධනපතියන් බදු ගෙවන්නේ 10%ක් බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රථමයෙන් කීවේ ය. එපමණක් නොව 80%ක් බදු කරගහන්නේ සමාන්‍ය මිනිසුන් බව ද ඔහු පවසා ඇත. මේක වෙනස් කළ යුතුම දෙයක් බව ඔහු ද ඔහු පැවසුවේ ය. එහෙම පටන්ගෙන ප්‍රාග්ධන අභියෝගයක් තියෙන බව පසුව පැවසුවේ ය. ඒ මගින් ආයෝජකයින් අධෛර්යමත් වන බව පවසා එය ආපස්සට ගත් නමුත් එයින් යමක් සිදුවූයේ ද නැත.
රාජපක්ෂ ගේ දූෂිත ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපි හිරවීමට සිටින්නේ. ඔහුගත් ණය ගෙවීමට ඩොලර් බිලියන 1.5ක් මුල්‍ය අරමුදලෙන් ගතයුතුව තිබුණි. අපිට ඕනේ නම් කියන්නට තිබුණා ඔය කොන්දේසියට ණය එපා කියලා. නමුත් මෙතරම් ණය බරක් ජනතාවට උසුලාගෙන ඉදිරියට යන්නට පුළුවන් කමක් අපිට තිබෙනවා ද ? ඒක කරන්නට ගොස් අන්තිමේ දී විශාල සාගතයකට වගේ දේකට මුහුණ දෙන්නට සිදුවිය හැක. ඒ නිසා තාවකාලිකව බදු බරක් වැඩකරන ජනතාවට දරාගෙන යන්නට වූවහොත්, ඒක කරන්නට සිදු වේ.
බදු ප්‍රතිපත්තිය ඉදිරියට දමාගෙන මහින්දගේ පාර්ශවය විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ ය. මේ විශ්වාස භංගයට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දුන්නේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විමල් වීරවංශට වඩා යම්කිසි දේශපාලනයක් කරන නායකයින් හැටියට මහින්දට විරුද්ධව සටන් කළේ ය. ඒ අය දැන් විරුද්ධ පක්ෂයේ නායකයෝ වෙති. සිංහළ කෙනෙක් ලෙස ගත්තාම අනුර කුමාර දිසානායක තමයි පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ නායකයා. සම්බන්දන් විපක්ෂ නායකයා වූවාට එයා වැඩිපුර කථා කරන්නේ ඒ අයගේ ප්‍රශ්න ගැන ය. නිළ වශයෙන් සම්බන්ධන් විපක්ෂ නායකයා වූවාට අනුර තමයි විපක්ෂ නායකයා. අනුර කුමාරට බදු හා දූෂණය එතරම් කැක්කුමක් තිබෙන්නේ නම්, ඒ විශ්වාස භංග යෝජනාව එයාට ගෙනෙන්නට තිබුණි. රටම දන්නා අර දූෂිතයින්ගේ විශ්වාස භංග යෝජනාවට ඔවූහු සහයෝගය දුන් හ. මේ මගින් ඔවුන් රටේ ඇතිකරගෙන තිබුණු තැන සම්පූර්ණයෙන්ම විනාශකරගෙන කොහේවත් යන පට්ට හොරු ටිකකට නායකත්වයක් නිර්මාණයකර දීමයි මේ කරන්නේ. මේකට අවශ්‍ය ම නම් විවේචනයක් කර ඡන්දය නොදී ඉන්නට පුළුවන්කමක් තිබුණි. තවත් ඉදිරියට යන්නට අවශ්‍ය ම නම් නිළ නොලත් විපක්ෂ නායකයා ලෙස අනුර කුමාර ට තමන්ගේ ම විශ්වාස භංග යෝජනාව ගෙනෙන්ට හැකියාව තිබුණි. මේ වගේ වැඩ කිරීමෙන් පෙනෙන්නේ අවදි වූ ජනතාවට ඔවුන් විශාල වැරැද්දක් කරන බව ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියට පැමිණ, ඒකාධිපති පාලනයක් පෙරළා දැමු ජනතාවකට කළ පහරදීමක් ලෙස මෙය සැළකිය හැක. අනුර දිසානායකයි විමල් වීරවංශයි සම කරන්නට මා ලෑස්ති නැත. නමුත් මොවුන් අනවශ්‍ය මිශ්‍රණයක් ඇතිකරන්නට යන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයකි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ එම තීන්දුව ඉතිහාසගත වැරැද්දක් ලෙස සැළකිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි මාවතකට එන බව පෙන්වා නැවත දූෂිතයින් සමග සන්ධානගත වන තැනට ගමන් කිරීම දැඩි ලෙස හෙළා දැකිය යුතු ය.
මේ බදු ප්‍රතිපත්තිය නිසා නිර්ධන පංතියේ ජනතාවට යම් බරක් දන්නට සිදුවී තිබෙන බව සත්‍යකි. මේක ලිබරල්වාදයේ තිබෙන ප්‍රශ්නයක් වන නමුත් ඒක ඉදිරියට ගෙන මෙතන ලොකු සටනක් කරන්නට පුළුවන්කමක් නැත. යම්කිසි සහනයක් තුළින් එන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ග තුළින් ඉදිරියට යා යුතුයි කියන අදහස ගැන තක්සේරුවක සිට අප වැඩකළ යුතු ය. නැතිව සියල්ලම කලවං කරගතහොත් අපිට නිවැරදි දිසාවක් හදා ගන්නට නොහැකි වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *