දැන් බඩුමිල තීරණය වෙන්නේ කළුකඩ ඩොලර් මිලට, රුපියල පා කිරීමෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ආනයන කරුවන් මේ වනවිටත් විදේශ විනිමය සපයා ගන්නේ රුපියල් 250 ක් පමණ ගෙවා කළුකඩ මිලට බවත්, දැනටත් බදු මිල නියම වී ඇත්තේ එම කළුකඩ ඩොලර් මිල අනුව බවත්, එබැවින් වෙළෙඳපොළේ මිල තීරණය වීමට රුපියල පා කිරීමෙන් බඩු මිල විශාල ලෙස වැඩි නොවනු ඇති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට මහ බැංකුව නියම කර ඇති මිලට ඩොලර් ලබාගෙන බඩු ගෙන්වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රජයේ ආයතන කිහිපයක් පමණක් බව ඒ මහතා කියයි. එබැවින් මිල වැඩිවිය හැක්කේ ඛනිජ තෙල්වල බවත්, ඒ පිළිබඳව පමණක් සැලකිල්ල දැක්වීම ප්‍රමාණවත් විය හැකි බවත්, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඩොලරයේ මිල පාලනය නිසා රටට ලැබීමට තිබෙන විදේශ ප්‍රේෂණ විශාල ලෙස අඩු වී ඇති බව කියන ඒ මහතා කියන්නේ මෙම වසරේ අහිමි වන මුදල ඩොලර් බිලියන හතරක් පමණ වන බවයි.

ඩොලරයට නියම කර ඇති අඩු මිල නිසා අපනයන කරුවන් ඩොලර් රට තුළට ගෙන ඒමෙන් වැළකී සිටින බවත්, ඉහළ උද්ධමනයක් තිබිය දී අඩු මිලට ණය ගැනීමේ හැකියාව නිසා ව්‍යාපාරිකයින් ඩොලර් පරිවර්තනය නොකර ණය ලබා ගැනීමට යොමු වී ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

ඒ මහතා වැඩි දුරටත් කීවේ රුපියල පා කිරීම පමණක් නොව පොලි අනුපාත වැනි වෙනත් ප්‍රශ්න පිළිබඳව ද නිවැරදි කිරීම්  අවශ්‍ය බවයි.

” අර්බුදයට මුහුණ දීමට අවම පොදු වැඩ පිළිවෙළක් ” මාතෘකාව යටතේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සංවිධානය කොට තිබු වෙබිනාර් සාකච්ඡාවක  අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *