අත් අඩංගුවට නොගන්නැයි බැසිල් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

mahi_asilඅයථා අයුරින් උපයාගත් මුදලින් දේපළ මිලදී ගෙන මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ දිවි නැඟුම පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් මහේස්ත්‍රාත් අධිකරණ පහක පවරා ඇති නඩුවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීරණය කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නැත යන්න මතපෙත්සම ඉවත දමන ලදී.

පොලිසිය විසින් ගොනු කරන බී වාර්තා අභියෝගයට ලක් කරමින් සෑම පුද්ගලයකුම මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හොත් පොලිසිය එම විමර්ශන කටයුතු දිගටම කරගෙන යන්නේ කෙසේදැයි පෙත්සම ඉවත දැමීමේ නියෝගය ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කෙළේය.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

ගම්පහ, මාතර, කඩුවෙල, පූගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණවල බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු පහක් පවරා තිබේ.

මුදල් විශුද්ධිකරණ පනතේ තුන්වන වගන්තිය යටතේ අයථා ආකාරයෙන් උපයාගත් මුදලින් දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් ගම්පහ, පූගොඩ සහ මාතර මහේස්ත්‍රාත් අධිකරණ වලද දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කිරීම මඟින් දිවි නැඟුම පනත යටතේ තමන්ට එරෙහිව ගම්පහ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවල පරීක්ෂණ පැවැත්වේ.

ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, මල්වාන ගඟබඩ පාරේ ඉඩමක් මිලදීගෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, මාතර ඉඩමක් මිලදීගෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, දිවි නැඟුම, මුදල් අවභාවිතා කරමින් ලිත් මුද්‍රණය කිරීම,ජී.අයි.පයිප්ප ලබාදීම මඟින් දිවි නැඟුම මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව ගොනු කළ බී වාර්තා අනුව මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වේ.

පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ‍රවි වෛද්‍යාලංකාර, එහි සහකාර පොලිස් අධිකාරී සේරසිංහ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ, රාජපක්ෂ පදනමේ උපුල් දිසානායක ඇතුළු දස දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මෙහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වීය. ගම්පහ, මාතර, කඩු‍වෙල, පූගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණවල පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධ නඩු කිහිපයක් පවතින බවද සඳහන් කළ ඔහු අසත්‍ය සහ පදනම් විරහිත තොරතුරු මත පදනම් වෙමින් ඒවාට අදාළ බී වාර්තා ගොනු කර ඇති බවද හෙතෙම කීය. නිසි විමර්ශන පැවැත්වීමකින් තොරව හුදෙක් කට උත්තර කිහිපයක් සටහන් කර ගැනීමෙන් පසුව මෙම බී වාර්තා ඉදිරිපත් කර ඇති බව හෙතෙම කීය.

මෙලෙස බී වාර්තා ගොනු කිරීමට සහ ඒ අනුව නඩු පැවරීමට කටයුතු කළ හොත් කිසිම පුද්ගලයකු ආරක්ෂාකාරී නොවන බව ඒ මහතා සඳහන් කෙළේය.

නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස තමා ඉල්ලා නොසිටින ‍බවද අසම්පුර්ණ බී වාර්තා මත කටයුතු කිරීම අභියෝගයට ලක් කරන බවද හෙතෙම කීය. කටඋත්තර සහ විමර්ශන වාර්තා විශාල ගොනුවක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද එය වැරැදි සහගත බවද හෙතෙම කීය.

මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කෙළේ නඩු ගොනුව කොතරම් විශාල වුවද එය අධ්‍යයනය කිරීම අදාළ විනිසුරුවරයාගේ වගකීම බවය.බී වාර්තා අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම වෙනුවට පෙත්සම්කරු කළ යුත්තේ එම විරෝධතා එම අධිකරණයට ඉදිරිපත් කිරීම බවය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය‍ සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කෙළේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය සහ වැරැදි සහගත කරුණු මත බවය.පෙත්සම්කරුට එරෙහිව බී වාර්තා අධිකරණ හතරකට ඉදිරිපත් කර ඇත්තේ දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනවලින් පසුව බවද එම විමර්ශන විධිමත්ව සිදු කර ඇතැයිද ඒ මහතා සඳහන් කෙළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැක්කේ මුදල් ගණුදෙනුවලට අදාළව පමණක් නොව ඉඩම් හෝ දේපළ අයථා ගනුදෙනු සම්බන්ධව බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කීය.

එසේම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවකට එරෙහි නියෝග ඉල්ලා සිටින්නකු ඒ සම්බන්ධව මහාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම කීය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ඉවත දැමීමට තීරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *