බොදුබල ත්‍රස්තය මහින්දගේ නිර්මාණයක් – දඹර අමිල හිමි

th_021 එළඹෙන අගෝස්තු 17 ලංකාවට විශේෂ දවසක් බවට පත්කර ගැනීමේ හැකියාවක් ඇත. වෙනත් දවස් මෙන් එය නිකම් ම ගෙවී යන්නට ඉඩ නොදිය යුතුය. මේ රටේ පුරවැසියන් තමන්ගේ පාලකයින් තෝරන විට ඉතිහාසයේ දී එතරම් සැළකිල්ලක දක්වා නැත. එය ඔවුන්ට උදේට, දහවලට සහ ?ට ආහාර ගෙන නින්දට යනවා වැනි වැඩකි. පාලකයින්ව තෝරන එක බරපතල ආකාරයට ගත්තේ නැත. නිදහස ලබන විට ඉන්දියාවේ මෙන් පුළුල් දර්ශනයකින් හෙබි පුරවැසි සමාජ ව්‍යාපාරයක් නොතිබීම මෙයට ප්‍රධාන හේතුව ය.
ඒ නිසා තමයි ජාතිකත්වයන් සහ ආගමිකත්වයන් 200ක් පමණ මෙන්ම විවිධ කුල සහ ප්‍රාදේශිය විවිධත්වයන් විශාල ප්‍රමාණයක් දරාගෙන ඉන්න රටක් වෙලත්, අධ්‍යපනික වශයෙන් ගත් කළ අපිට වඩා සාපේක්ෂව අඩු තත්ත්වයක් නියෝජනය කළා වූවත්, ඉන්දියාව මනුශ්ෂ්‍ය ශිෂ්ඨාචාරයක ලක්ෂණ පෙන්වන සාපේක්ෂ දියුණුවක් අත්පත් කරගෙන තිබෙන්නේ.
බලවත් පුරවැසි ව්‍යාපාර නොමැති අඩුපාඩුව නිසා අපේ රට අයාලේ යන රටක් බවට පත්විය. ඒ නිසාම පොඩි ප්‍රශ්ණයක් ඇති වූ සැනින් ම ඕනෑම බලවේගයකට ඔවුනොවුන්ට අදාල ජාතිකත්වයන්ට එරෙහිව උසීගැන්වීමට අවස්ථාවාදීන්ට හැකි වී තිබේ. 50 දශකයෙන් ආරම්භ වී 83 නේ කළු ජූලිය හරහා 30 අවුරුදු යුද්ධයකින් කෙළවර වීමෙන් එය පැහැදිළි ය.
මහින්ද රාජපක්ෂ, බොදුබල සේනාව වැනි ත්‍රස්ත සංවිධාන ආරම්භකර ඔවුන්ගේ මතවාදයන්ට යම් ඉඩක් ලබාදීම තුළින් මේ සමාජය නැවත ජාතිවාදී මාවත ඔස්සේ රැගෙන යෑමට උත්සාහ දැරී ය. අළුත්ගම වැනි ප්‍රදේශවල මුස්ලිම් විරෝධයක් හදමින් ඒ මුස්ලිම් ජාතිකත්වයට එරෙහි වූ ඒ උසිගැන්වීම් කරන්නත්, වෙළඳ ආයතන ගිනිතබා ඔවුන්ගේ දේපල පමණක් නොව ජීවිත අහිමි කරන්නටත් ඔවුන්ට හැකි විය. අර කියන ලාංකිය එක්සත් ජාතිය අපිට නිර්මාණය කරගැනීමට නොහැකි වූ නිසා මේ ජාතිවාදීන්ට එය නැවත නැවත කිරීමට ඉඩ ලැබී තිබේ. ඒ වගේම කුඩා ප්‍රශ්නයක් පදනම් කරගෙන, ආගමික ගැටළු මුල්කරගෙන සමාජයේ ගින්නක් ඇති කිරීමේ හැකියාව සහිත සමාජ විඤ්ඤාණයක් මේ සමාජයේ තවමත් තිබේ.
මොන තරම් බෝධි පූජා තිබ්බත්, මොනතරම් දේ්වපූජා තිබ්බත් , පල්ලියේ, පන්සලේ හා කෝවිලේ හඳුන්කූරු කට්ටක මච්චල් පත්තුකර යාඥා කළත්, පොඩි ප්‍රශ්නයක් පදනම් කරගෙන ජාතිකත්වයන් වගේම ආගමිකත්වයන් අතර ගිනි ඇවිලවීමේ හැකියාවක් සහිත රටකි මේ. සමාජයේ ඒ තිබෙන ඉඩ අහෝසි කළ යුතුව තිිබේ. ඒ සඳහා අපේ සමාජයට නායකත්වය දීමේ වගකීම පුරවැසියන්ට පැවරී ඇත. දේශපාල පක්ෂවල තිබෙන න්‍යාය පත්‍ර සහ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට වඩා ඔබ්බට ගිය උක්ත දැක්ම සමාජගත කිරීමේ අවශ්‍යතාවය පුරවැසි බලවේගවලට ඉතාම තදින් ඇත. ජාතිවාදී විෂ බීජය නොවැඩෙන පොළොවක් නිර්මාණය කර ගැනීමට අපිට හැකිවුවහොත්, මහින්ද රාජපක්ෂ වැනි අයට ආපසු පැමිණිමට ඇති හැකියාව අහෝසි කළ හැක.
මහින්ද රාජපක්ෂ අංක එක ජනවාරි 8 අපි ගෙදර යැව්වෙමු. හැබැයි මහින්ද රාජපක්ෂ අංක 2 අංක 3 අංක 4 පහ යනාදි වශයෙන් අනාගතයේ දී එවැනි අය පත්වීමට ඇති ඉඩ ද අහෝසි කළ යුතු ය. 4දෙනෙකුට හරි පාර්ලිමේන්තුවට නාම යෝජනා නොදී ගෙදර හිටපන් කියන තැනට මහින්ද රාජපක්ෂ වැනි ඉතාමත්ම ත්‍රාඩ, ඉතාමත්ම ජාතිවාදි, ඉතාමත් ම ආගම්වාදී සහ ඉතාමත් ම අන්තවාදි ඊනියා නායකයෙකුට වූවත් තම සගයින්ට කීමට සිදු වී ඇත. මෙයින් පෙනෙන්නේ මේ සමාජයට විමුක්තිය අත්කරගත හැකි මග ලබන 17 වෙනිදාට විවරකරගත හැකි බව ය.
ඒ නිසා ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ දැවැන්ත දැක්ම හා දැනුම අපි සමාජයට පොම්ප කළ යුතු ය. ඒවාට එරෙහි වූ විශිෂ්ට මිනිසා, ඔබගේ හදවත් තුළ හදාගනිමු කියන පණිිවිඩය අපි සමාජයට දියයුතුය. අප අදහන ඕනෑම ආගමකට මෙන්ම දියුණු රටවල් බවට පත් කිරීමට ජනතාව මෙහෙයවූ ඕනැම දර්ශනයකට එය එකඟ ය. මිනිසුන් හැටියට ගණුදෙනු කරන්න නම්, ගෝත්‍රික නොවන සමාජයක් නිර්මාණය කරන්නට නම්, බහුත්වවාදි ආකල්ප දරන ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තිබීම විශිෂ්ඨ ශිෂ්ඨාචාරයටක පූර්ව කොන්දේශියක් වේ. ඒ නිසා ප්‍රජාත්ත්‍රවාදය රැකගැනීම ඉතාමත් ම වැදගත් ය. අපි එය ජනයාට වටහා දිය යුතු ය.
ඊයේ ජනාධිපතිතුමා කී පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ මල්ඵල හටගන්න විට හරිම අශ්වාදයක් ගෙන දේ. මිනිස්සුන්ට ඉන්නට හිතෙන සමාජය හැදෙන්නේ ඒ තුළ ය. ඒ නිසා එ නිදහසට අදාල ඒ මතවාදය අපි පෝෂණය කළයුතු ය. ඒ ටික කථාකරනකොට තමයි එයට එරෙහි වන රාජපක්ෂ කියන ප්‍රධානතම බාධකය එන්නේ. ඒ නිසා නැවත පැමිණිමට වෙර දරන මහින්ද රාජපක්ෂ නියෝජනය කරන මහින්ද සංස්කෘතිය හැරෙන තැපෑලෙන් ආපසු හරවා යැවිය යුතු ය.
බොදුබලය හැදුවේ මහින්ද රාජපක්ෂ ය. ඔහු බලයෙන් පහවීමත් සමඟ ම බොදු බලය හතරගාතෙන් වැටුණි. කොවිල්වලට, පල්ලිවලට සහ අමාත්‍යංශවලට කඩාපණින බොදු බල ත්‍රස්ත කල්ලි දැන් නැත. පොලිසිවල සිට මාධ්‍ය හමු තියපු අය දැන් නැත. වාහන නවතා එස්. එස්. පී.ලාට, අයි. ජී. පී ලට නියෝග දෙන අය ජනවාරි 8වෙනිදායින් පසු නැත. එහි සම්පූර්ණ තිර රචනය සහ පිටපත පමණක් නොව ඒකට අවශ්‍ය කරන අවි ආයුධ ද තමන්ගේ මල්ලි හරහා සැපයූවේ මහින්ද රාජපක්ෂ ය. රථවාහන සහ පොලිසියේ රැකවරණය ද හමුදාවල රැකවරණය ද බුද්ධි අංශවල රැකවරණය ද ඒ සියල්ලම සැපයූයේ ඔහු ය. රට ගින්නක් බවට පරිවර්ථනය කරන්නටයි ඔවුන් උත්සාහ කළේ. බලය රැක ගැනීමේ මේ උපාය හිරිකිතයකින් තොරව රාජපක්ෂ යොදාගත්තේ ය.
නැවත බැමි උඩින් හොම්බ දමා, වාහනවල දොර බාගෙට විවෘතකර එලියට නොබැස තම ගෝලබාලයින් ලවා ඉල්ලීම් කරවාගත් පැරදුනු රාජපක්ෂ නැවත පැමිණීමට උත්සාහ දරන්නේ ඒ දේ නැවත කිරීමට ය. අගෝස්තු 17 වෙනිදාට මේ පුද්ගලයාට හොඳ පාඩමක් ඉගැන්වීම මේ රටේ ඡන්දදායකයින්ට බාර ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *