යල් කන්නයට සියලු වර්ගයේ පොහොර ඇතිවෙන්න දෙනවා – ඇමති එස් එම් චන්ද්‍රසේන

ලබන යල් කන්නයේ දී ගොවීන්ට කිසිදු හිගයකින් තොරව සෑම පොහොර වර්ගයක් ම ලබා දෙන බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ පැවති ගොවි හමුවක දී  ප්‍රකාශ කළේ ය.

එමෙන් ම වගා පාලු වූ ඉඩම්වලට වන්දි ලබා දීමට ද තමා කටයුතු කරන බව ඒ මහතා කී ය.

මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් පසු ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ගොවි ජනයාගේ දුක් ගැනවිලි වලට ප්‍රතිචාර වශයෙනි.

මේ අතර නාච්චාදුව ප්‍රදේශයේ කාබනික ගොවිතැනේ අස්වනු පිලිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ යල කන්නය සඳහා කාබනික පොහොර නොමිලේ ලබාදෙන බව සහ රසායනික පොහොර වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව යි.

මේ අතර යල් කන්නය සඳහා රසායනික පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කරන ලෙස, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද වාර්තා වී ඇත. එම මන්ත්‍රී පිරිස පෙන්වා දී ඇත්තේ පොහොර ප්‍රශ්නය නිසා ගොවි ජනයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වෙමින් සිටින බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *